police-uncle

බිරියගේ පියාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ‘පොලිස්’ යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කබායක් හැඳ පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට උත්සාහ දැරූ පැදිකරුවකු පසු පැදිකරු ද සමග අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.  සැකකරුවන් ගමන් ගත් යතුරු පැදියට ආදායම් බලපත්‍රය,

රක්ෂණ සහතිකය හෝ කිසිදු ලිපි ලේඛනයක් හෝ නොමැති යතුරු පැදිය ද ඌව පළාතට අයත් අන්සතු යතුරුපැදියක් බවත්, පැදිකරුට අවම වශයෙන් රියැදුරු බලපත්‍රය ද නොමැති බවත් විමර්ශන වලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඉංගිරිය පොලීසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් 35344 අමරසිංහ නිලධාරියා ඇතුළු කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටියදී සිදුකළ ක්ෂණික පරීක්ෂාවක දී ඒ බව අනාවරණය වී යැයි පොලීසිය කියයි. හොරණ දෙස සිට ඉංගිරිය දෙසට පැමිණි යතුරුපැදිය පැද වූ පුද්ගලයාගෙන් කොහේ යන්නේ දැයි විමසීමේදී ඉන්ධන ලබා ගැනීමට යන බව පැවසීමත්, ඒ වන විට අලුයම එකට පමණ ඇති බැවින් ඉන්ධන ලබාගැනීමට ඉන්ධන හලක් නොමැති බවත් අවබෝධ වූයෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීම සඳහා යතුරු පැදියේ පැමිණි දෙදෙනා බිමට බැස්සවීමේදී සැකකාර පැදිකරු පොලිස් යනුවෙන් සඳහන් වැහි කබායක් හැඳ සිටි අයුරු දැකගත හැකිවී ඇතැයි පොලිසිය කියයි.



පැදිකරු පොලිස් යනුවෙන් සඳහන් වැහි කබායක් හැඳ සිටීම හේතුවෙන් ඔහුගෙන් රාජකාරි හැඳුනුම්පත ඉල්ලා සිටීමේ දී මම පොලිසියේ නොවෙයි කියා පැවසීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා රියැදුරු බලපත්‍රය සහ යතුරු පැදියට අදාළව අනිකුත් ලිපි ලේඛන ඉල්ලා සිටීමේ දී එම ලේඛන ද කිසිවක් නොමැති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලිසියට රැගෙන විත් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පැදිකරු හැඳ සිටි පොලිස්  යනුවෙන් සඳහන් කබාය කඩවත   අධිවේගී පොලිස් මුර පොළට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරයකුගේ බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා, පොලිස් යනුවෙන් සඳහන් කබාය හා යතුරු පැදිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකාර පැදිකරු කෑගල්ල, ගලිගමුව නගරය පදිංචිකරුවකු බවත්, පසු පැදිකරු කිරිඇල්ල මුදුන් කොටුව පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි. සැකකරුවෝ දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.


බිමල් ශ්‍යාමන් ජයසිංහ