pothuhera-dalada

දළදා වහන්සේ නුවර දළදා මාලිගාවේ නොමැති බවත්, උන්වහන්සේ තමන් ළඟට ළඟදීම වඩින බවත් ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

බෝසත් ජානක නමැති මෙම පුද්ගලයා පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර මෙම අසත්‍ය ප්‍රචාරවල නිරතවන බවට කරුණු හෙළි වී ඇත.

ඒ සඳහා ඔහුට දෙස් විදෙස් ආධාර ලැබෙන බවද දැන ගන්නට ඇත. මෙලෙස ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තමන් කිසිම අවසරයක් ලබා නොදුන් බව ​පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් ඩී. ඒ. දිසානායකඅරුණ කළ විමසීමකදී පැවසීය. මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් ඊයේ (05 වැනිදා) දිනයේ සොයා බැලූ විට මෙම තොරතුරු හෙළි විය.

මොහු කරන මෙම ක්‍රියාවලියට විරෝධය දැක්වූ පුද්ගලයකු හට යම්කිසි පිරිසක් පහර දීමට කටයුතු කර ඇති හෙයින් එම පුද්ගලයා පොතුහැර පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇත.

‘‘බෝසත් ජානක’ නමැති පුද්ගලයා වසර හතරකට පමණ පෙර පොතුහැර උප්පලවණ්ණා මෙහෙණි ආරාමයට පැමිණ ඇත්තේ බෝධිපූජා පැවැත්වීමට පමණක් අවසර ලබා ගැනීමට බව පොන්නිලමේ උප්පලවණ්ණා මෙහෙනින් වහන්සේ පැවසුවාය.

අවසර ලබාදීමෙන් අනතුරුව බෙහෝ හිරිහැර පීඩාවන්ට තමන්ට ලක්වීමට සිදු වූ අතර එම ගැටලු විසඳා ගැනීමට නීතියේ සරණ පැතීමටද මෙහෙණින් වහන්සේලාට සිදු වූ බවද වැඩිදුරටත් පැවසුවාය. දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවලට චෛත්‍යය තනා දීමට දායක වන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන එලෙස ඉදිකරන ලද චෛත්‍යය ප්‍රමිතියෙන් තොර නිසා එම චෛත්‍ය කඩා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද එම විහාරස්ථානවල හිමිවරු කියති.

(හේමන්ත ලියනපතිරණ)