උසස් පෙළ කාල සීමාවේ විදුලි කප්පාදුව සිදු කිරීම පාඩම් වැඩ කරන සිසුන්ට බාධාකාරී බවට විවිධ පාර්ශ්ව වලින් මැසිවිලි නැගුණත් ලංකා විදුලි බල මන්ඩලය විදුලි කප්පාදුවේ වෙනසක් නොකර දිගටම එය පවත්වාගෙන යාමට තීරණය කළේ තාප විදුලිය අධික මිල බවත් මේ දිනවල නොකපා සිටීමට නම් එම වියදම දැරීමට අවශ්‍ය මුදල් නැති බවත් පවසමිනි.
මෙම තීරණය කොළඹ නාගරිකයට, විශේෂ පුද්ගලයින්ගේ නිවාස ආසන්න කලාප වලට, ඇමතිවරුන්ගේ හා ඇතැම් ඇමති ගෝලයින්ට ප්‍රශ්නයක් නොවුනේ මතක ඇති කාලයක විදුලි කප්පාදුවක් ඔවුන්ට සිදු නොවන බැවිනි.
උසස් පෙළ සිසුන් වෙනුවෙන් රජයේ සහනයක් නැති තැන මානව හිමිකම් කොමිසම ඊට මැදිහත්වූ අතර
උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා , විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පාර්ශව ඊයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබිණ.
අනතුරුව කොන්දේසි කිහිපයකට යටත්ව අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් එකඟ වූ බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළ ද ඊයේ පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර තිබිණ.
කප්පාදුවක් සිදු කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව අද දහවල් ප්‍රකාශයට පත් කරන බව විදුලි බල මණ්ඩලය පවසා ඇති අතර ඔවුන් ඊයේ සිදුවූ එකඟතාවය නොදන්නා ගාණට හැසිරීම තේරුම් ගැනීමට අපහසු කාරණාවකි.
ඊයේ දිනයට සමාන කාලසටහනක් දර්ශනය කරමින් අද (26) දිනයේද විදුලික්පපාදුව සිදුවන බවට විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ වගුවක් ප්‍රසිද්ධ කර තිබේ.
පවතින ආරංචි වලින් කියැවෙන්නේ විදුලිකප්පාදුව උසස් පෙළ කාලයේදී සම්පූර්ණයෙන් නවතන්නේ නැති බවත් ඇතැම් විට සවස 6 න් පසු කප්පාදුව පමණක් නොකර සිටින්නට ඉඩ ඇති බවත්ය.
0 Comments