ඊයේ (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවූ බව ඊයේ පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡාවකින් පසු මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා සිටි නමුත් ඒ කිසිවක් ප්‍රායෝගිකව සිදුවී නැත.
මේ සම්බන්ධ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය හෝ ඇමතිවරයා කිසිවක් ප්‍රකාශ නොකිරීම විශේෂිතය. ලංකා විදුලි බල මණ්ඩලය උදෑසන සදහන් කර තිබුනේ ඊයේ ඇතිවූ එකගතාව ගැන දහවල් තීරණය දන්වන බවයි. නමුත් එවැනි තීරණයක් දන්වා සිටියේ නැත.
මානව හිමිකම් කොමිෂන් සභාවේ ඊයේ පැවති සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, මහජන උපයෝගිතා කොමිසන් සභාව, විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමථයකට එළැඹි බව කීවත් ඒ සමථය ව්‍යාජයක් බව දැන් ඔප්පුවී ඇත.
අදාළ විධානයට අනුව කටයුතු නොකළහොත් මානව හිමිකම් කොමිෂන් සභා පනතට ප්‍රකාරව කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහස කිරීමේ වරදට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව මානව හිමිකම් කොමිසම දන්වා තිබුණි.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ කප්පාදුවකින් තොරව විදුලිබල සැපයීම සඳහා ගැටලුකාරී තත්වයක් පසුගිය කාලයේ මතුව තිබූ අතර තාපයෙන් විදුලිය ලබාදීමට සිදුව ඇති බවත් ඒ සදහා වියදම දරන්නට බැරි බවත් පවසා තිබුණි.
මේ තත්ව යටතේ උසස් පෙළ සිසුන්ට සහනයක් ලබාදීමට රජය අපොහොසත්වී ඇත.
කෙසේ වෙතත් කණින් කොනින් වාර්තාවන්නේ උසස් පෙළ වෙනුවෙන් විදුලිය කප්පාදුව සිදු නොකිරීමට වඩා මාර්තු 9 එලැඹෙන මැතිවරණයට සතියක පමණ පෙර සිට විදුලි කප්පාදුව හමාර කර ජනතා පීඩනය ලිහිල් කර වාසි ලබාගන්නට රජය කල්පණා කර ඇති බවයි. උසස් පෙළ සමයේ කප්පාදුව හමාර කළොත් මැතිවරණ සමයේ සහනය දෙන්නට අපහසු බව අදාළ බලධාරීන් දන්වා ඇති පසුබිමක උසස් පෙළ නොසලකා හරින්නට කටයුතු කර ඇති බවයි.
0 Comments