නිවාස ඉදිකිරීමේ ආයතනයක් නීතිවිරෝධී ලෙස රාජගිරිය ඔබේසේකරපුර සහ ජයවර්ධනපුර කෝට්ටේ යන ප්රදේශවල පවත්වා ගෙන ගිය පුද්ගලයකු විදේශ රැකියාවල නිරත පුද්ගලයින් රවටා ඔවුන්ගෙන් රුපියල් කෝටි 10ක පමණ මුදලක් වංචාකර ප්රදේශය හැර පලාගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.
කන්තලේ, නිට්ටඹුව, පස්යාල අතුරුගිරිය සහ කින්නියා යන ප්රදේශවල පදිංචි මේ වනවිට කැනඩාව සහ මැදපෙරදිග රටවල රැකියාවල නිරතවූවන් පස්දෙනකු එම පුද්ගලයාට එරෙහිව දිවයිනේ පොලිස් ස්ථාන කීපයකට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව ද වාර්තාවේ.නාගරික සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබා නොගෙන ඔහු මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇත්තේ අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් බව ද පොලිසිය කියයි.නිවාස ඉදිකර දෙන බවට විදෙස් රැකියාවල නිරත පුද්ගලයන් එකඟ කරගෙන ගිවිසුමකට එළඹ නිවසේ කොටසක් පමණක් ඉදිකර අතරමගදී නොයෙකුත් හේතු දක්වමින් තවත් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා විදේශ රැකියාවල නිරත පුද්ගලයන්ට කරදර කරමින් හා තර්ජනය කරමින් ඔහු එම ජාවාරම කරගෙන ගොස් ඇතැයි ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ගිවිසුමේ නොමැති ලක්ෂ ගණනක අතිරේක මුදල නොගෙවන්නේ නම් තමාට වංචා කළ බවට පොලිසියට පැමිණිලි කර ඒ හරහා අධිකරණය මගින් විදේශගත පුද්ගලයාට විදේශගතවීමේ තහනමක් ලබාගන්නා මෙම ජාවාරම්කරු එමගින් විශාල මුදලක් වංචා කරගෙන ඇතැයි ද පොලිස් නිලධාරියෙක් පැවසීය. විදේශගතව සිට ලංකාවට පැමිණි පසුව මොහු විසින් කීප දෙනකුටම විදේශ ගමන් තහනම් නියෝග ලබාගෙන ඇතැයි ද විදේශ රැකියා කරන්නන් විදේශගතවීමේ වුවමනාව හේතුවෙන් මොහු ඉල්ලන ගණනක් දී විදේශ ගමන් තහනම ඉවත්කර ගෙන ඇතැයි ද ඔහු කීය.
නිවාස ඉදිකරන මුවාවෙන් මෙම පුද්ගලයා කාලයක් තිස්සේ මෙම ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති අතර පොලිස් ස්ථාන කීපයකටම පැමිණිලි ලැබීම නිසා රාජගිරියේ සහ කෝට්ටේ පිහිටි ඔහුගේ කාර්යාල වසා දමා සැඟවී ඇතැයි ද පොලිස් නිලධාරියා පැවසීය. ත්රිකුණාමලය කින්නියාහි පදිංචි බව කියන මෙම පුද්ගලයා සොයාගැනීම සඳහා වරෙන්තු ලබාගෙන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද ඔහු කීය.
රංජන් කස්තුරි
0 Comments