randimal-released-bail

අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ ඊයේ (5 වැනිදා) අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.





රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කරන ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි රන්දිමාල් ගමගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඔහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇතැයි දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබේ. එහෙත් ඔහුට රටට ඇතුළුවීමට තහනමක් නොමැති නිසා එතැනින් නිදහස් කිරීම සුදානම් වනවාත් සමගම ගුවන්තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වී රජයේ දේපළවලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුඳුවත්ත පොලිසියේ ඉල්ලීම මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව සැකකරු කුරුඳුවත්ත පොලිසිය වෙත භාරීදී තිබිණි.



එම අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිටට පැමිණි අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවක් ද පවත්වන ලදී. අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊ‍යේ (5 වැනිදා) පස්වරුවේ නියෝග කළේය.

ටී.කේ.ජී. කපිල - කටුනායක