සියලු ජනකොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත්වන රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.
නල්ලුර් ශිවම් කෝවිලේ පැවති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජාතික තෛපොංගල් උත්සවයට එක් විය.
දෙමළ සංස්කෘතික පෙරහැරකින් උත්සව භූමිය වෙත කැඳවාගෙන එනු ලැබූ ජනාධිපතිවරයාව හින්දු චාරිත්‍රාණුකූලව පිළිගැනිණි. විචිත්‍ර දමිළ සංස්කෘතිකාංග කිහිපයකින් ද උත්සවය වර්ණවත් විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලු ජාතීන් එකට ජීවත්වන සහ ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට මීට වසර 75කට පෙර ඩී.එස් සේනානායක මැතිතුමා ඇති කළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා යළි අප ගමන් කළ යුතු බවයි.
සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ ප්‍රකාශයක් පෙබරවාරි 08වනදා රටට ප්‍රකාශ කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අදහස් විමසීමට පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ දී කැඳවන බව කියා සිටියේය.
අතුරදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් ලබා දීම සඳහා සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කුලසිංහම් තිලීපන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් පළාත්
ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහු උත්සවයට එක්ව සිටියහ.
0 Comments