ranjan-laptop

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක විසින් තොරතුරු තාක්ෂණයට දක්ෂ ළමුන් සඳහා නොමිලේ ලැප්ටොප් පරිගණක බෙදාදීමේ ව්‍යාපෘතියක් ඊයේ (25 වැනිදා) ආරම්භ කළේය. එම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් තිදෙනෙකුට ලැප්ටොප් පරිගණක ලබාදීම ඊයේ ඔහු රැඳී සිටින මාදින්නාගොඩ නිවාසයේදී සිදු කෙරිණි.

පළමු වටය යටතේ ලැප්ටොප් පරිගණක 40ක් බෙදා දීමට අපේක්ෂාවෙන් පසුවන රන්ජන් රාමානායක එය ලැප්ටොප් පරිගණක 15000ක් බෙදාදීම දක්වා ඉදිරියට රැගෙන යන බවද කියා සිටියේය.

‘මම පසුගිය සමයේ ඇමරිකානු සංචාරයක නිරත වුණා. එහිදී විවිධ ප්‍රසංගයන්ට සහභාගි වීමේ අවස්ථාව මට ලැබුණා. ඒ සෑම අවස්ථාවකදීම මට මුදල් ලබාදෙනවා වෙනුවට ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ලැප්ටොප් පරිගණක ලබාදෙන ලෙසයි. ඒ විදිහට ඇමරිකාවේ වෙසෙන විවිධ තරාතිරම් නියෝජනය කරන පිරිස් මට ලැප්ටොප් පරිගණක 1500කට අධික සංඛ්‍යාවක් ලබා දුන්නා.



මේ හැම දෙයක්ම විනිවිධභාවයකින් තොරව ළමයින්ට බෙදා දෙන්න කටයුතු කරනවා. එහෙම කරන්නේ ලංකාවේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වැඩි කරන්න මිසක් දේශපාලන වාසියක් ලබා ගැනීමට නෙමෙයි. මොකද මට දැන් දේශපාලන පක්ෂයක් නැහැ. මම ඉන්නේ ජනතාවගේ පක්ෂයේ.

මෙම කටයුත්ත සඳහා දේශපාලන මතවාදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගි විය හැකියි. මේ වන විටත් මගේ නම භාවිත කරමින් මේ කටයුත්ත වෙනුවෙන් ව්‍යාජ අයුරින් මුදල් රැස්කරන්න යම් යම් පාර්ශ්වයන් කටයුතු කරනවා. ඒවාට නොරැවටෙන්න කියලා මම ඉල්ලා සිටිනවා’ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අදාළ ලැප්ටොප් පරිගණක ලංකාවට ගෙන ඒම සඳහා අවශ්‍ය බදු සහන ලබාදෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

දකුණු කොරියාව, ජපානය සහ ඉතාලිය ආදී රටවලින් ප්‍රසංග සඳහා මේ වන විටත් ආරාධනා ලැබී ඇති බව කියන රන්ජන් ඒ සෑම අවස්ථාවකදීම තමාට මුදල් නොව ලැප්ටොප් ලබාදෙන මෙන් ඉල්ලීමද කැපී පෙණින.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
(ඡායාරූප - ඉන්දික ප්‍රභාත් වීරසිංහ)