reginold-cooray-death-updates

ප්‍රකට දේශපාලනඥ රෙජිනොල්ඩ් කුරේ මහතා හෝටලයක පැවති  රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි හෘදයාබාධයකින් රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වූ බවට ඊයේ (13) උදෑසන වාර්තා වූයේය.
කුරේ  මහතාට මෙලෙස හෘදයාබාධය ඇතිවූයේ අතිශය දරුණු සංවාදයකින් පසුව බවටත් එම සංවාදය සිදුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සමග ඔහු කළුතර අපේක්ෂක නාමයෝජනා සකසමින් සිටියදී බවත් වාර්තාවේ.
මෙම කාරණාව හේතුවෙන් රෙජිනෝල්ඩ් කුරේ මහතා ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා තිබේ.


වාර්තාවන ආකාරයට හෙලිකොප්ටරය ලකුණින් සංධාන ගතව සිටින පක්ෂවල කළුතර අපේකෂකයින් තේරීම් කිරීම සඳහා මෙම රැස්වීම පවත්වා ඇත්තේ වාද්දුව, තල්පිටිය, වයිට්හෙවන් හෝටලයේය. මෙම රැස්වීමට ශ්‍රීලනිපය වෙනුවෙන් කුරේ මහතා සහභාගී වූ අතර යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගද එක්ව සිට ඇත.
මෙම රැස්වීම ආරම්භයේදීම ඊට ආරාධනා නොකළ අයෙකු සම්බන්ධයෙන් ගෙවිඳු සිය විරෝධය පළ කර තිබෙන අතර චෝදනාව යොමුව ඇත්තේ කුරේ වෙතයි. දිගින් දිගටම එල්ලවන චෝදනා වලට උත්තර දීමේදී කුරේ මහතා අපහසුතාවයට ලක්ව තිබේ.  රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි මහතාද එම අවස්ථාවට එක්වූ අතර ඔහු මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසන්නේ කුරේ මහතාගේ වයසට දරාගන්නට බැරි තරම් දරුණු වචන වලින් පොර බදන්නට සිදුවූ බවත් ඇතිවූ කම්පනයේදී ඔහු වතුර ඉල්ලා බොන්නට උනන්දුවූ බවත්ය. එසේම තමන්ට ක්ලාන්ත බවද දන්වා සිටි බවත් පසුව එක්වරම ඇතිවූ හෘදයාබාධ තත්වය මත රෝහල් ගත කරන්නට සිදුවූ බවත්ය.
හෘදයාබාධය ඇතිවූ අවස්ථාවේ හිටපු මහ අමාත්‍යවරයාව පානදුර මූලික රෝහලට ඇතුලත් කර තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කළද තත්වය උත්සන්නවූ බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.
මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.


වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා ඇතුළු සිව්දෙනෙකු සමග ඇතිවූ උණුසුම් වචන හුවමාරුව හෘදයාබාධයට මුල බව සෝමසිරි මහතා කියා සිටියේ කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් කළුතර ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා ඉදිරියේ  පැවති මරණ පරීක්ෂණයේදීය.
මේ කරුණු නිසා රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය එහිදී ඉල්ලා සිටියාය.ඒ අනුව ඊට අවසර ලැබී ඇති අතර
කළුතර ශීක්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතා ගේ මෙහෙයවීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.