rmv-message

වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර හෙඊයේ (01) සිට ඉවත් කළ බවත්, ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. නව වාහන ලියාපදිංචි කිරීමේදී අංක තහඩුව සඳහා ගෙවීම අනිවාර්ය වන අතර, අංක තහඩුව සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේදී ද එක්වරක් පමණක් අංක තහඩු ගාස්තුව ගෙවිය යුතු බව වීරසිංහ මහතා සඳහන් කළේය.



වාහන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් භාවිත කළ කඩදාසි කොළ 12 කින් යුත් සංකීර්ණ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කඩදාසි කොළ 6 ක් දක්වා අඩු කළ බවත්, එම නව ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය හෙට සිට භාවිත කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කීය. එම ලිපි ගොනුවේ සංකීර්ණ බව පිළිබඳව ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට සහ කඩදාසි සම්බන්ධයෙන් රට මුහුණ දී ඇති ගැටලුව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම වෙනස කළ බවද ඔහු කීවේය.

මේ අතර වාහන රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මාර්තු 31 වැනි දාට පෙර ආරම්භ කරන බවත් ඒ අනුව රියැදුරකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව ඔහුට වසරක කාලයක් යන තෙක් රියදුරු බලපත්‍රයට අයැදුම්කළ නොහැකි බවත් වසරකින් පසුව නැවත නව රියැදුරු බලපත්‍රයක් ලබා ගන්නා ආකාරයට අයදුම්පතක් යොමු කළ යුතු බවත් ඔහු කීවේය.



අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ජනවාරි මස පළමු සති දෙකේ ඉදිරිපත් කිරීමට නියමිත බව කී වීරසිංහ මහතා රියැදුරන්ගේ වාහන වැරැදි සම්බන්ධයෙන් අධිකරණය සහ පොලිසිය කටයුතු කරන අවස්ථාවලදී එම අකුසලතා ලකුණු එකතු වන බව ද සඳහන් කළේය. අකුසලතා ලකුණු 24 ක් ලැබී රියදුරු බලපත්‍රය අහෝසී වීමෙන් පසුව, පුහුණු සැසිවලට සහභාගීවීම, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට අභියාචනා ඉදිරිපත් කිරීම සහ අධිකරණයට නැවත කරුණු දැක්වීම යන ක්‍රමවේද ඔස්සේ වසරක් ගතවීමට පෙර නැවත රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවස්ථාව ඇති බව ද ඔහු කීවේය. රට තුළ රිය අනතුරුවලින් වසරකට සිදුවන මරණ 3000 කට ආසන්න සංඛ්‍යාව අවම කිරීමත් රිය අනතුරුවලින් තුවාල ලබන සහ ආබාධිත වන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කිරීමත් මෙම ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණ බවද ඔහු සඳහන් කළේය.


යොහාන් භාසුර