rumy-ruban-speaks

ආදරවන්තයකු හෝ ආදරවන්තියක අතර පවතින ආදර සම්බන්ධතාවක් බිඳී යාමෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය විනාශ වීමේ අවස්ථා ඉදහිට ඇති වී තිඛෙන බැවින් එය වළක්වා ගැනීමට අපරාධකරු සහ ඊට ගොදුරු වන්නා වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් මහතා පැවසීය. කොළඹ තුරග තරග පිටියේදී සරසවි සිසුවියකට ඇයගේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව එවන් සිදුවීම් වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මනෝ වෛද්‍යවරයා එසේ කීය. විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා තවදුරටත් මෙසේද කීය.



ආදරයත් වෛරයත් අතර කෙස් ගහක වෙනසක් ඇති බවට සමාජ මතයක් තිබුණද එය මිථ්‍යාවක්. පෙම්වතෙකු පෙම්වතියකට අවංකව ආදරය කරන්නේ නම් එහෙම වෙන්න බෑ. මොකද ඒ ආදරය අවංක චේතනාවෙන් සිදු වන්නක් නිසා. අවංකව ආදරය කරන අය මෙවන් අපරාධ වලට පෙළඹෙන්නේ නැහැ. නමුත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් විටින් විට අපිට සමාජයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.ඇයි එහෙම වෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි ඒ ඒ අයගේ පෞරෂ සාධක, යම් ආදර සම්බන්ධතාවක් බිඳී ගියහම පෙම්වතාට පෙම්වතිය ගැන හෝ පෙම්වතියට පෙම්වතා ගැන හෝ කේන්තියක් ආවේගයක්, වෛරයක්, ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ආවේගය පාලනය කර ගැනීමට තමන්ට ශක්තියක් තිබිය යුතුයි. එසේ නොමැති වූ තැන තමයි මෙවන් අපරාධවලට ඔවුන් පෙළඹෙන්නේ.

තමන්ගේ බලාපොරොත්තු බිඳ දැම්මාම තමන්ට හිතෙනවා ඇය හෝ ඔහු තමන්ට එරෙහි වුණා කියලා. ඒ වෙලාවට ආදරේ අමතක වෙනවා. අන්න ඒ වෙලාවට මේ ආවේගය පාලනය කරගන්න පුළුවන් නම් මෙවන් අපරාධ පාලනය කරගත හැකියි.

එහෙම නැතිවුණු තැනකදි තමයි රටට දැයට ජාතියට ආගමට වටිනා ජීවිත අහිමි වෙන්නේ. ඒ නිසා ක්ෂණික කේන්තිය සහ ආවේගය නිසා ඇතිවන මෙවන් අපරාධ වළක්වා ගැනීමට ස්වයං පාලනයක් සහ සමාජීය බලපෑමක් ලබාදිය යුතුයි. ඒ නිසා මෙවන් සිදුවීමක් වූ අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා.

තමන්ට යම් ගැටලුවක් වූ විටෙකදී තව කෙනෙකු සමග පැවසීම, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදේශන ලබා ගැනීම, කාගෙන් හරි තමන්ට තර්ජනයක් තිබෙනවා නම් ඒ පිළිබඳව මේ රටේ ආරක්ෂක අංශ දැනුම්වත් කොට ඒ හරහා රැකවරණය ලබා ගැනීම, දැන උගත් බුද්ධිමත් වැඩිහිටියන්ගෙන් උදව් ලබා ගැනීම වැනි දෑ කොට තම ජීවිත ආරක්ෂා කර ගැනීමට පෙලඹිය යුතුයි. ඒත් ලැජ්ජාව සහ භය නිසා ඇතැමුන් එවන් ක්‍රියාමාර්ගවලට පෙලඹෙන්නේ නැහැ. හිත ඇතුළෙ තදකරගෙන දරාගෙන ඉන්නව. කාලය විසින් විසඳයි කියලා ඉන්නව. එහෙත් එවන් සිදුවීම් කාලය විසින් විසඳන්නෙ නැහැ. ඒ නිසා මා වගකීමෙන් කියනවා මෙවන් අපරාධ වළක්වා ගැනීම සඳහා අපරාධකරු සහ ඊට ගොදුරු වන්නා මීට වඩා සැලකිලිමත් විය යුතු බව යැයි ද  කීය.


ප්‍රදීප් කුමාර කුලරත්න