salary-bonus-issue

පාඩු ලබන සංස්ථා හා මණ්ඩලවලට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා  තිබේ. ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගෙනය.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන්ට ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය සෑම සේවකයකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයි ද ජනාධිපතිට බාර දුන් වාර්තාවේ දක්වා තිබේ.



ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන්ය. මේ වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයි ද ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවූ වාර්තාවක් යටතේ බව ද දැනගන්නට තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයක් 4200ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුප් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇත. එහි ඉහළ නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවා ඇතැයි ද වාර්තා වේ. එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් ප්‍රසාද දීමනා (බෝනස්) ලබා ගැනීම නිසා ඉහත මුදල වැය වී ඇතැයි ද සඳහන්ය.



ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වැනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබේ. ඒ අනුව රුපියල් කෝටි 58 ක් මේ වෙනුවෙන් වැය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් 13 වැනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ද ජනපතිට දුන් වාර්තාවේ දක්වා ඇත.  නිදහසට කරුණු දැක්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බව ද දැනගන්නට තිබේ. ජනතාව ආර්ථික පීඩාවට පත්ව ඇත්තේ මෙම ආයතනවල ණය බර නිසා වුවත් තව තවත් ජනතාවට බර පටවමින් කළ මෙම ක්‍රියාව ගැන ද ජනපතිවරයා කනස්සල්ල පළ කර ඇතැයි ද වාර්තා වේ.


අංජුල මහික වීරරත්න