අධිකරණයට අපහාස කළැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ඊයේ (17) චෝදනා ගොනු කරන ලදී. නීතිපතිවරයා මෙසේ චෝදනා ගොනුකළේ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් අභියාචනාධිකරණයේ කැදවූ අවස්ථාවේදීය.මෙම රිට් පෙත්සම බන්දුල නිශ්ශංක කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ ඉකුත් අගෝස්තු මස 23 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක් වන ප්‍රකාශ සිදුකර ඇතැයි සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර මහත්වරුන් පෙත්සම් 3 ක් ගොනුකර ඇත.මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි ගිරිහාගම මහත්මිය කියා සිටියේ චෝදනා ලැබ සිටින අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ අපහාස චෝදනා ගොනු කරන බවත් මේ සම්බන්ධව වීඩියෝපට සහ අදාළ සාක්කි ලැයිස්තුව ඉදිරියේදී අධිකරණය හමුවේ ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
ඒ අනුව මෙම පෙත්සම් පෙබරවාරි මස 23 වැනිදා කැඳවන ලෙස නියෝග කෙරිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ සාලිය පීරිස් යන මහත්වරු පෙනී සිටියහ. අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න, නීතිඥ ශාන්ත ජයවර්ධන යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.
විමුක්ති එස්. රුද්‍රිගු
0 Comments