school-35-over

අධිකරණ තීන්දුවකට අනුව පන්තියක සිටිය යුතු සිසුන් ප්‍රමාණය 35ක් බවත්, එම සංඛ්‍යාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (03දා) ගත් මෙම තීරණය ක්‍රියාත්මක කළහොත් එම ක්‍රියාව වළක්වා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවැරීමට කටයුතු කරන බවද එම සන්ධානයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ජාතික හා ජනප්‍රිය යැයි ක්‍රියා ගන්නා පාසල්වලට අධික ලෙස සිසුන් ඇතුළත් කර ගැනීම නිසා ග්‍රාමීය වශයෙන් පවතින පාසල් හා නාගරීකව පවතින කුඩා පාසල් වැසී යමින් තිබෙන බවත්, එහෙත් සමහර පාසල්වල පන්ති කාමර තුළ අධික සිසු තදබදයක් ඇති වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

මේ නිසා සිදුකළ යුතුව තිබෙන්නේ, සියලුම පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබාදී සියලුම සිසුන්ට සමාන අධ්‍යාපනයක් ලබාදීම බවත්, කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයට අනුව 1 සිට 5 ශ්‍රේණිය දක්වා එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් බවට හා 6 සිට 11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත් වන බවත් පවසා සිටි ජෝසප් ස්ටාලින් මහතා, 2012 වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුව එක් පන්තියක සිටිය හැකි සිසුන් ප්‍රමාණය 35ක් විය යුතු බවද සඳහන් කළේය.

අධිකරණ තීන්දුවට අනුව 2021 වසරේ සිට පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේදී එක් පන්තියකට ඇතුළත් කර ගනු ලබන්නේ, ළමයින් 35ක් බවත්, මේ නිසා මෙම ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යමින් පාසල් පන්ති කාමර තුළ තිබෙන තදබදය අඩු කරගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ