shani-vehicle-cid

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිට වැඩ තහනමට ලක් වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් ශානි අබේසේකර මහතාගේ පෞද්ගලික මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩි වැදීමේ සිද්ධියට අදාළව එම ගිනිඅවිය හා උණ්ඩ සහිත මැගසිනය විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.  මේ වනවිට එම කොස්තාපල්වරයා ශානි අබේසේකර මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරී කටයුතුවලින් ඉවත් කර  ඇති බවද උසස් පොලිස් නිලධාරියා කීය.



මේ වනව්ට එම සිද්ධිය සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයාගෙන් හා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ  සටහන් කරගෙන ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.තමන්ට ජීවිත තර්ජන ඇති බවට ශානි අබේසේකර මහතා කළ දැනුම්දීමකට අනුව වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මෙන්ම බොරැල්ල පොලීසියෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සේවා මුර දෙකක් යටතේ යොදවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ශානි අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර, ඔහු වෙනත් මෝටර් රථයකින් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය මගින් ලබාදුන් කොස්තාපල්වරයෙකු සමග ගාල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වී සිට ඇතැයිද දැනගන්නට ඇත. ඉකුත් දෙසැම්බර් 17 වැනිදා කොස්තාපල්වරයා මුර කුටිය තුළ සිට ගිනිඅවිය පහත් කර මැගසිනය ගලවා උණ්ඩ ඉවත් කිරීමට යාමේදී මුරකුටිය පසාරු කරගෙන පිටවූ වෙඩි උණ්ඩය නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයේ පිටුපස බෆරයට වැදී අනතුරුව මෝටර් රථයේ තෙල් ගලා යන බටයකට එල්ල වී තිබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



 මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී අදාළ කොස්තාපල්වරයා පමණක් රාජකාරිවල නිරතව ඇති අතර, වින්දිතයන් ආරක්ෂා කිමේ කොට්ඨාසයේ කොස්තාපල්වරයා සිට නැතැයිද ඔහු පැමිණි පසු මෙම සිද්ධිය පවසා තිබූ බවද පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.  එයින් දින දෙකකට පසු ශානි අබේසේකර මහතා මේ බව දැක බොරැල්ල පොලීසිය වෙත පැමිණිලි කර තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ