shaster-murder-updates

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාගැනීම විවෘත අධිකරණයේ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරියේදී ඊයේ (04) සිදු කෙරිණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාගැනීම ඊයේ (04) දහවල් 12.30ට පමණ ආරම්භ වූ අතර,

පැය දෙකහමාරකට අධික කාලයක් එම සාක්ෂි ලබාදීම සිදුවිණි. මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (04) පෙරවරුවේදී විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණකරුගේ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මරණ පරීක්ෂණ සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරනු ලබන බවය.

ඒ හේතුවෙන් මරණ පරීක්ෂණයෙ සාක්ෂි ලබා ගැනීම වාර්තා කිරිමට අධිකරණ මාධ්‍යවේදීන්ට හැකියාවක් නොවිණි. මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයාව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ ටානියා ෆර්මන් ෂාෆ්ටර්, ඔවුන්ගේ සමාගමක විධායක අධ්‍යක්ෂවරයකු වන හෙයියන්තුඩුවගේ ඔන්ඩ්‍රේ ෆැට්රික් ත්‍රිස් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවන් දෙදෙනකු ඊයේ (04) අධිකරණයට පැමිණ සිටි අතර, පළමු සාක්ෂිකාර ටානියා ෆර්මන් ෂාෆ්ටර් සහ දෙවැනි සාක්ෂිකාර හෙයියන්තුඩුවගේ ඔන්ඩ්‍රේ  ෆැට්රික් ත්‍රිස් පෙරේරා යන දෙදෙනාගේ පමණක් සාක්ෂි ලබාගැනීම සිදු විය.

ඒ අනුව අනෙක් දෙදෙනාගේ සාක්ෂිකරුවන් සාක්ෂි සටහන් කර ගැනීම ලබන 10 වැනිදා තෙක් කල් තැබිණි.සාක්ෂිකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් සහ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නිමන්ති රණසිංහ