siridhamma-thera-sustagen

සායනික කාඩ්පත අතැතිව සිටි රෝගී ගල්වැව සිරිධම්ම හිමියන්, ස්වාමින් වහන්සේ නමක් වීම හේතුවෙන් විමර්ශන නිලධාරීන් දැනුවත්ව තමන් සද්භාවයෙන් යුතුව උන්වහන්සේට ‘සස්ටජන්’ කිරිපිටි එකක් සහ සිංහල ඖෂධ පැකට් කිහිපයක් ලබා දුන් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විවෘත අධිකරණදී ඊයේ (17) පැවැසුවාය. මෙම නඩුව වෙනත් අධිකරණයකට  මාරු කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී එලෙස පැවැසූ මහේස්ත්‍රාත්වරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ  ඉල්ලීම අනුව නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත යොමු කිරීමට ද පියවර ගත්තාය.



ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේමහතාගේ නඩුව කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් වසන්ත මුදලිගේ මහතා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින්, පසුගිය නොවැම්බර් මස 17 වැනිදාත්, 22 වැනිදාත් අතර කාලයේ අධිකරණ පරිශ්‍රයේ වූ සිදුවීමක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ හතරක් ලබා දී ඇතැයි දැනුම් දුන්නේය.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනා දැනුම් දුන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා ඉල්ලීමක් කරන්නැයි පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දැනුම් දුන් දිලීප පීරිස් මහතා, ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම් ඊයේ (17) හෝ අද (18) අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර පැමිණිල්ලක් කිරීමට කටයුතු කරන්නේ යැයි ද පැවැසීය. මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇද්දැයි විමසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා : “නැහැ.”

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා : “ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනාගේ දිවුරුම් ප්‍රකාශ මේ වන විට තියෙනවා ද?"

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා : “ඔව්.”

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා : “ස්වාමිනී, නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමට අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 46 වැනි වගන්තිය යටතේ අභියාචනාධිකරණයටත්, 47 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයාටත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තියෙනවා.

එසේ තිබියදී අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර පැමිණිල්ලක් නොකොට ඒවා අතේ තියාගෙන නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලීම සදාචාර සම්පන්න නැහැ."



ඒ අවස්ථාවේදී ද අධිකරණය ඇමතු අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය, සැකකරුවන් කිසිවකුත් අධිකරණය නොදන්නා බවත්, ඔවුන් සමග කිසිදු ඇඳුනුම්කමක් නැති බවත් දැනුම් දුන්නාය.

මීට පෙර දිනයක සැකකාර ගල්වැව සිරිධම්ම හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ විට උන්වහන්සේ සායන කාඩ්පත අතැතිව බවත්, උන්වහන්සේ රෝගීව සිටි බවත් පැවැසූ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය, සිරිධම්ම හිමියන් ස්වාමින් වහන්සේ නමක් වීම හේතුවෙන් සද්භාවයෙන් යුතුව විමර්ශන නිලධාරීන් දැනුවත්ව තමන් උන්වහන්සේට ‘සස්ටජන්' කිරිපිටි එකක් සහ සිංහල ඖෂධ පැකට් කිහිපයක් ලබා දුන් බවත් පැවැසුවාය.කෙසේ නමුත් විමර්ශන ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස තමන් හැමවිටම පොලීසියට උපදෙස් දුන් බව පැවැසූ මහේස්ත්‍රාත්වරිය, කෙසේ වෙතත් පැමිණිල්ලේ ඉල්ලීම මත නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කළාය.

සුළු වේලාවකට පසුව නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී, සැකකාර වසන්ත මුදලිගේට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධ තීන්දුව ලබන 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අතර, ඔහු එදින තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළේය.ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇත්නම්, ලබන 24 වැනිදාට පෙර ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

 එස්. රුද්‍රිගු