ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද රාජ්කොට්හි පැවති තුන්වන 20 යි 20 තරගයේදී ශ්‍රී ලංකාව විශාල පරාජයකට මුහුණ දුන්නේය.
මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිල ලකුණු 228 ක විශාල ලකුණු ප්‍රමාණයකට ගිය අතර
ඉන්දීය ඉනිම සූර්යකුමාර් යාදව්ගේ සංදර්ශනයක් විය. 6 වැනි පන්දුවාරයේදී පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා ඉනිමේ අවසන් පන්දුවාරය තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත ලෙස පිත්ත හසුරුවමිනි. මිස්ටර් 360 ලෙසින් නම් දරා සිටින යාදව් අද දිනයේදී නොදැවී ලකුණු 112 ක් ලබා ගත්තේ පන්දු 51 කට පමණක් මුහුණ දෙමිනි.
තණතීරුව දෙපසින් වූ හතරේ සීමාව පිතිකරුවාට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් එහි වාසිය ලබා ගත් යාදව් ප්රමුඛ ඉන්දීය පිතිකරුවෝ දිගට හරහට හයේ හතරේ පහර එල්ල කළහ.
ඉන්දීය ඉනිමේදී වාර්තා වුණු හයේ පහර 14 න් 9 කටම හිමිකම් කී යාදවු සිය ඉනිමට හතරේ පහර 7 ක්ද එල්ල කළේය. 46 වැනි ජාත්‍යන්තර විස්සයි-20 තරගයට අද දිනයේ සහභාගිවුණු යාදව් අද රැස් කර ගන්නා ලද්දේ තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ශතකයයි. ඒ හැරුණු කොට අර්ධ ශතක 13 කටද හිමිකම් කියන දකුණත් පිතිකරුවාගේ සාමාන්‍ය 46.71 ක් සහ ප්‍රහාරාත්මක වේගය 180.34 ක් තරම් ඉහළ අගයක පවත්වාගෙන යෑමද කැපී පෙනෙයි.
ඉන්දීය ඉනිමේ හරි අඩක් අවසන් වන විට ඔවුන් කඩුලු 2 කට ලබා සිටියේ ලකුණු 92 ක් පමණි. එහෙත් යාදව්ගේ පිබිදීමත් සමඟ අවසන් පන්දුවාර 10 දී ලකුණු 136 ක් රැස් කර ගැනීමට ඔවුහු සමත් වූහ.
පිළිතුරු ඉන්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල 16 වන ඕවරයේදී සියල්ල දැවී රැස් කළේ ලකුණු 137 ක් පමණි. වැඩිම ලකුණු ලබාගත් කුසල් 23 ක්ද දසුන් ශානක 23ක්ද රැස් කළ අතර තනි ඉලක්කම රැස් කළ අය 6 දෙනෙකු විය.
මේ තරග ජයග්‍රහණය සමග 2-1 ලෙස විස්සයි20 තරගාවලිය ජයගන්නට ඉන්දීය පිල සමත් විය.
0 Comments