t56-police

තන්තිරිමලය පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරියකු එහි අවි ගබඩාවෙන් සොරාගෙන දුන් බව කියන ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන දඩයමේ ගිය පුද්ගලයෙක් විල්පත්තුව වනෝද්‍යානය  තුළදී වනජීවි නිලධාරින් කණ්ඩායමක් විසින් එම අවිය ද සමඟ පෙරේදා (01) අත්අඩංගුවට ගනු ලැබීය.

දඬයම් කරන ලද වැලි මුවකුගේ බවට සැලකෙන මස් තොගයක් ද ටී 56 ජීව උණ්ඩ විසිහයක් සහ එම මැගසින් එකක්ද සැකකරු සන්තකයේ තිබි පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අවිය තන්තිරිමලය පොලිසියේ රාජකාරී කරන නිලධාරියකු විසින් දෙන ලද බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව වනජීවීයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. වනජීවි නිලධාරීන් ගිනි අවියේ අංකය ද සමග බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. මහවිලච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහීපාල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් තන්තිරිමලය පොලිස් ස්ථානයට ගොස් එහි අවිගබඩාව පූර්ණ සෝදිසියකට ලක් කර තිබේ. වනජීවී නිලධාරීන් දුන් ගිනි අවියේ අංකය සඳහන් ටී 56 අවියක් එම ගබඩාවෙන් අතුරුදන් වී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අවි ගබඩාවෙන් ටී-56 ගිනි අවිය ජීව උණ්ඩ සහ මැගසිනය සොරගෙන දඩයම්කරුට ලබාදුන් බව කියන පොලිස් නිලධාරියා ඊයේ (02) පසුවරුවේ අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලීසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය