tna-divided

උතුරු, නැගෙනහිර පළාත් පාලන මැතිවරණයට තරග කරන පංච විධ සන්ධානයක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ (TNA) හවුල්කරුවන් තිදෙනෙකු බිඳී ගොස් තිබේ.ටී.එන්.ඒ. යටතේ තරග කළ ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්. එෆ්.), ද්‍රවිඩ ඊලාම් විමුක්ති සංවිධානය(ටෙලෝ) සහ දෙමළ ඊලාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) නව සන්ධානයේ කොටස්කරුවන් වනු ඇත.

සන්ධානයේ අනෙකුත් පක්‍ෂ දෙක වන්නේ, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් පිහිටුවන ලද ඩිමොක්‍රටික් කෘසේඩර්ස් පකෂය(ඩී.සී.පී.) සහ දෙමළ ජාතික පක්‍ෂයයි(ටී.එන්.පී.). සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්(ඊ.පී.ආර්.එල්. එෆ්.), සෙල්වම්  අඩෛක්කලනාදන්(ටෙලෝ), ධර්මලිංගම් සිතද්ධන්(ප්ලොට්), සිවානන්දන් නවීන්ද්‍ර (ඩී.සී.පී.) සහ එන්. ශ්‍රීකාන්ත (ටී.එන්.පී.) විසින් සන්ධානය පිහිටුවීමේ ගිව්සුමට පෙරේදා (14දා) යාපනයේ තින්නවේලිහිදී අත්සන් තබන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ  නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසිය කුට්ටනි(ටී.එම්.ටී.කේ.) සහ යාපනය හිටපු නගරාධිපති එම්, මනිවන්නන්ද සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.කෙසේ වෙතත්,

නව සන්ධානයේ ලාංඡනය සහ මහලේකම් තනතුර සම්බන්ධයෙන් ඇති වූ මත භේදයක් හේතුවෙන් ඔවුන් සිකුරාදා සාකච්ඡාවලින් ඉවත්ව ගොස් තිබේ.  මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ නොවූ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පාර්ශ්වය වන ඉලංකෙයි තමිල් අරසුකච්චි(අයි.ටී.ඒ.කේ.) පක්‍ෂය පළාත් පාලන මැතිවරණයට ඔවුන්ගේ 'නිවස' ලකුණ යටතේ වෙනම තරග කිරීමට තීරණය කර ඇත.ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහිම අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට නව සන්ධානය සැලසුම් කර ඇති බව ආරංචිමාර්ග පවසයි.  නව සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් පෙරේදා (14දා) දිනයේදීත් සාකච්ඡා පවත්වා තිබිණි.