train-service-hit-pention

දුම්රිය සේවකයන් 500 ක් පමණ පිරිසක් එකවර විශ්‍රාම යාම හේතුවෙන් පැනනැගුණ අර්බුදකාරී තත්වය මැද අද (2) කාර්යාල දුම්රිය වාර 50 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගුවීමේ අවදානමක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය හමුවේ ඊයේ සහ පෙරේදා දෙදින තුළ දුම්රිය ගමන්වාර 95 ක්ම අවලංගු කිරීමට සිදුවී ඇත.



වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම යැවීමේ රජයේ ප්‍රතිපත්තිය හේතුවෙන් දුම්රිය ධාවනයට අත්‍යවශ්‍යම සේවකයන් පන්සියයක් පමණ පසුගිය 31 වැනිදා සිට විශ්‍රාම ගොස් තිබිණි. ඒ අතර දුම්රිය රියැදුරු, නියාමක, ෂන්ටින් රියැදුරු, සිග්නල්මන්, දුම්රිය කාර්ය සහායක ඇතුළු තනතුරු ගණනාවකම සේවකයන් විශ්‍රාම ගොස් තිබිණි.

මේ හේතුවෙන් පෙරේදා 31 වැනිදා මගී ප්‍රවාහන දුම්රිය ගමන්වාර 48 ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 11 ක් වශයෙන් දුම්රිය ගමන්වාර 59 ක් ක් අවලංගු කිරීමට සිදුව තිබුණි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන දුම්රිය ගමන්වාර 25ක්, මුහුදුබඩ මාර්ගයේ මගී ප්‍රවාහන ගමන්වාර 14 ක්, පුත්තලම් මාර්ගයේ මගී ප්‍රවාහන ගමන්වාර 07 ක්, කැළණිවැලි මාර්ගයේ මගී ප්‍රවාහන ගමන්වාර 02 ක් අවලංගු වී තිබුණි.

එමෙන්ම ඊයේ (01 වැනිදා) දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පැවසීය. ඒ අතර මගී ප්‍රවාහන දුම්රිය 24 ක් සහ භාණ්ඩ හා ඉන්ධන ප්‍රවාහන දුම්රිය 12 ක් තිබෙන බවද හෙතෙම කීවේය.

මගී ප්‍රවාහන දුම්රිය අවලංගු වී ඇත්තේ ප්‍රධාන මාර්ගයේ 12 ක්, මුහුදුබඩ මාර්ගයේ 02 ක්, කැලණිවැලි මාර්ගයේ 02 ක්, පුත්තලම් මාර්ගයේ 08 ක් වශයෙනි.

උද්ගතවී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය දුම්රිය සාමන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න ගෙන් අරුණ කළ විමසුමකදි සදහන් කළේ සේවකයන්ගේ පැමිණීම මත අද දිනයේ දුම්රිය අවලංගුවීම් අඩු වීමට හෝ වැඩි වීමට ඉඩ ඇති බවද හෙතෙම කීවේය.



දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු හේතුවෙන් අත්‍යවශ්‍යම දුම්රිය සේවකයන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට එක්කර ගැනු​ණේ මීට දෙවසරකට පෙරය. නමුත් කොන්ත්‍රාත් පදනම මත සේවයට ගත් එම සේවකයන් වෙනුවෙන් වැටුප් ගෙවීම් නිසි පරිදි ඉටු නොවීම නිසා ඔවුන්ද දුම්රිය සේවය අත්හැර යාමට තීරණය කර තිබිණි.

උද්ගත වී ඇති මෙම තත්ත්වය නිසා විශ්‍රාම යන දුම්රිය සේවකයන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට ගන්නා ලෙස ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු දුම්රිය පාලනාධිකාරිය වෙත වාචිකව දන්වා සිටියත් එවන් ලිඛිත නියෝගයක් හෝ උපදේශයක් සිදුව නැති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පැවසීය.

මේ වනවිට විශ්‍රාම ගොස් සිටින සේවකයන් කොන්ත්‍රාත් සේවය මත යළි සේවයට එක්වීමට අකමැත්තෙන් සිටින බවත් ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරමින් එම තනතුරු සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදුකළ යුතු බවත් හෙතෙම කීවේය.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ඊයේ (01) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා වන බඳවා ගැනීම් 2013 වසරේ සිටම නිසි පරිදි සිදුව නැති බවය. එම තනතුරුවල පුරප්පාඩු නිසා මාතර බෙලිඅත්ත වැනි දිවයිනේ දුම්රිය ස්ථාන ගණනාවක්ම ඉදිරියේදී වසා දැමීමටද සිදුව තිබෙන බවය.

කෙසේ වෙතත් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්.ආර්.ඩී.එස්. ගුණසිංහගෙන් අරුණ, කළ විමසුමකදී කියා සිටියේ විශ්‍රාම ගිය දුම්රිය සේවකයන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම මත යළි ලබා ගන්නා බවය. මේ වනවිටත් සාධනීය පිළිතුරු ඔවුන්ගෙන් ලැබී ඇති බවත් බොහෝ විට ඉතා අඩු දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අවලංගු වුවත් බොහෝ දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අද දින සිට ධාවනය කළ හැකි බවත් සාමාන්‍යාධිකාරිවරයා කීවේය.

ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුව මුළුමනින්ම නිරාකරණය කරන බවද හෙතෙම කීවේය. එමෙන්ම සේවක හිඟය නිසා උද්ගත වූ මෙම තත්ත්වය කාර්යාල දුම්රිය සඳහා පමණක් බලපෑ බවද කීවේය.

(එස් අස්ලම්)