two-youth-killed-kegalle

මාවනැල්ල පොලිස් වසමේ කිරිගංදෙණිය හා කෙරමිණිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කර රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ මළ සිරුරු දෙක කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරිපිටදී ඊයේ (12) ගොඩගනු ලැබීය. මාවනැල්ල පොලිස් වසමේ කිරිගංදෙණිය, අංක 108/3 ලිපිනයේ පදිංචිව සිටි 28 හැවිරිදි මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාන් හා අංක එච් 119 සාපියාවත්ත පදිංචිව සිටි 26 හැවිරිදි මොහොමඩ් නෆ්පාස් මොහොමඩ් අලී නමැති තරුණයන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 18 වැනිදා හා 25 වැනිදා සිට අතුරුදන්ව ඇති බව පවසා ඔවුන්ගේ දෙමාපියන් දෙසැම්බර් 07 වැනිදා මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව මාවනැල්ල පොලිසිය කියයි.



එම පැමිණිල්ලේ දී මවුපියන් සඳහන් කර ඇත්තේ තම දරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය අලෙවි කරන බවත් රඹුක්කන, හුරිමළුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයකුගෙන් මත්ද්‍රව්‍ය මිලට ගන්නා බව දැන සිටි බවත්ය. මාවනැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ද දැනුම් දී මාවනැල්ල පොලිසිය හා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය එක්ව ඒ පිළිබඳව දිගටම විමර්ශන සිදු කළේය.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ඉකුත් 8 වැනිදා ලද තොරතුරකට අනුව මූලික විමර්ශනයකින් අනතුරුව රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් මහේෂ්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් අබේරත්න යන නිලධාරින්ගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් කරුණාතිලක (48871), පොලිස් කොස්තාපල්වරුන් වන (59843) දිල්ෂාන්, (104342 ) යන නිලධාරින් සැකකරුගේ නිවසට දැඩි ආරක්ෂාවක් සපයා ඒ පිළිබඳව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (11) කරුණු වාර්තා කර ඇත. මළ සිරුරු වළ දමා ඇතැයි කියන නිවසට ඊයේ (12) පෙරවරුවේ ගිය කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය මූලික විමර්ශන කටයුතු ආරම්භ කළාය. එහිදී එම නිවස වසා දමා ඇති අයුරු දක්නට ලැබුණ අතර නිවස පිටුපස කුකුළන් ඇති කිරීමට තනන ලද කූඩුවක්ද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉවත්  කෙරිණි.



මළ සිරුරු වළ දමා පස්වලින් වසා ඊට උඩින් අඟල් තුනක පමණ කොන්ක්‍රීට් තට්ටුවක් දමා ඇති අයුරු පසුව දක්නට ලැබුණි. ඝාතනය කර ඇති එක් තරුණයකු ඔහුගේ මිතුරකු සමග අයිස් මත්ද්‍රව්‍ය මිලදීගෙන පානය කිරීමට මාවනැල්ලේ සිට රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බව කියන පුද්ගලයාගේ නිවෙසට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙම දෙදෙනාගෙන් එක් අයකු මීට පෙර අවස්ථා කිහිපයකදීම අයිස් මත්ද්‍රව්‍ය ණයට ලබාගෙන ඒ සඳහා මුදල් ගෙවා නොතිබූ බව කියති.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හමු වී මත්ද්‍රව්‍ය ඉල්ලා සිටි අවස්ථාවේ ජාවාරම්කරු ගෙවීමට ඇති රුපියල් 50,000ක ණය මුදල ගෙවන තුරු ඔහුට මත්ද්‍රව්‍ය නොදෙන බව පවසා ඇතැයිද දැනගන්නට ඇත. මෙම තරුණයන් දෙදෙනා අල්ලාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඔවුන් දෙදෙනා සිර කර තබාගෙන අත් පා ගැට ගසා සිටි තවත් පුද්ගලයකුගේ සිරුර ඔවුන්ට පෙනෙන සේ වරින් වර කඩුවකින් කපමින් තුවාල සිදු කරමින් මේ ආකාරයට උඹවත් ටිකෙන් ටික මරා දමන පවසා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.ණයට මත්ද්‍රව්‍ය මිලදී ගත් බව කියන තරුණයාගේ සිරුර ද මෙම ජාවාරම්කරු විසින් එම කඩුවෙන්ම වරින් වර කපා තුවාල සිදුකරනු ලැබ ඇතැයි ද පොලිසියට ලැබී ඇති තොරතුරුවලින් දැන ගැනීමට තිබේ.

තරුණයන් දෙදෙනා දස වධ දී ඝාතනය කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ණය ගෙවීමට තිබූ තරුණයා සමග පැමිණි තරුණයාට කියා ඔහුගේ නිවස පිටුපස වළක් හාරවාගෙන එම දෙදෙනාගේ සිරුරු තරුණයා ලවාම වළ දමා ඇතැයි ද පොලිසියට ලැබී ඇති තොරතුරු වලින් පැවසෙන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ.සිරුරු වළ දැමීමට යොදා ගත් තරුණයා ද එම සිද්ධිය වසන් කිරීම සඳහා ඝාතනය කිරීමට වෙනත් ස්ථානයකට රැගෙන යන අතරවාරයේ ඔහු කෙසේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ග්‍රහණයෙන් මිදී පලාගොස් ඇති අතර ඔහු සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
චමින්ද වැවතැන්න