ampara-incident

අම්පාර ප්‍රදේශයේ අවුරුදු දාසයක බාලවයස්කාර පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයකු එම සිද්ධියෙන් වසර නවයකට පසු අම්පාර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබීය.  සැකකරුගේ ජංගම දුරකථනයේ අංකය සොයාගෙන පොලිස් සැරයන්වරියක ඔහු සමග මාස දෙකක් තිස්සේ බොරු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් උපක්‍රමශීලීව ඔහු කොටුකර ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.  ලිංගික උත්තේජන පෙති දෙකක් ද සැකකරු ළඟ තිබී ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් පස්වන වියේ පසුවන අතර ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.



සැකකරු වෘත්තියෙන් ඇඳුම් මසන පුද්ගලයෙකි. අම්පාර ප්‍රදේශයේ පදිංචි එවකට 16 වැනි වියේ පසු වූ දැරියගේ පියා සමඟ තිබූ මිතුරුකමක් මත ඔහු සොයාගෙන පැමිණි අවස්ථාවක නිවසේ කිසිවකුත් නොසිටි බැවින් ඔහු දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර පලාගොස් ඇත්තේ 2014 වසරේදීය. දැරියගේ මවුපියන් මේ බව පොලිසියට එම වකවානුවේම පැමිණිලි කළ ද සැකකරු සොයා ගැනීමට නොහැකි විය. එම දැරිය මේ වනවිට විසිපස් වැනි වියේ පසුවන තරුණියකි. සැකකරු ඉන්නා ඉසව්වක් සොයා ගැනීමට නොහැකිව සිටියදී ඔහුගේ ජංගම දුරකථන අංකය සිද්ධියෙන් වසර නවයකට පසුව සොයා ගැනීමට අම්පාර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ  නිලධාරීන්ට හැකි වී ඇත.

එම කාර්යාංශයේ පොලිස් සැරයන්වරියක සැකකරුගේ ජංගම දුරකථන අංකයට මිස් කෝල් එකක් දීමෙන් පසුව ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි කියති. පසුව දෙදෙනා කතාබස් කරමින් හා කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් දුරකථනය මගින් මාස දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. සැකකරු ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත්තේ ඇය පොලිස් නිලධාරිනියක බව  නොදැනය. පොලිස් සැරයන්වරිය රාජකාරි නිම වී නිවසේ සිටින අතවාරයේ මහ රෑ ද සැකකරු ඇයට ආදර වදන් සහිත කෙටි පණිවිඩ එවා ඇතැයි පොලිසිය සඳහන් කරයි. පොලිස් සැරයන්වරිය මේ ගැන ඇයගේ සැමියා ද දැනුවත් කර ඇති බැවින් සැකකරුගේ මහ රෑ ලැබෙන කෙටි පණිවිඩවලට පිළිතුරු යවනු ලැබ ඇත්තේ ඇයගේ සැමියා විසින් යැයි කියති.



පොලිස් සැරයන්වරිය කළ ආරාධනයක් අනුව සැකකරු ජැන්ඩියට හැඳ පැලඳ සුවඳ විලවුන් ගල්වාගෙන පෙම්වතිය හමුවීමට කුරුණෑගල සිට අම්පාර නගරයේ ළමා උද්‍යානයකට පැමිණි අවස්ථාවේ එහි රැක සිටි පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පරීක්ෂා කර බැලීමේදී ඔහුගේ කමිස සාක්කුවේ තිබී ලිංගික උත්තේජන පෙති දෙකක් ද සොයාගෙන ඇතැයි පැවැසේ. තමා පොලිස් සැරයන්වරියකගේ උගුලකට හසුවී ඇති බව සැකකරු දැනගෙන ඇත්තේ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුවය.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සහ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ අධීක්ෂණය යටතේ අම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක දයානි ගමගේ සහ අම්පාර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්වර්ණකාන්ති යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන්වරුන් වන දසනායක සහ දිසානායක යන මහත්වරු සහ පොලිස් සැරයන්වරියන් වන අමිලා, සශිකා යන මහත්මීහු සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.  අත්අඩංගුවට ගත් සැකකරුට මුදල් වංචා කිරීමේ නඩු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටිය නිසා වරෙන්තුද නිකුත් කර තිබූ අයකු යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය