apeksha-hospital-bribe

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන කාබොෆැටීන් නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අව්ස් මහතා ඊයේ (16) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35/3, දෙවන මාවත, අඹගහ පුර, මහරගම පදිංචි අපේක්ෂා රෝහලේ ඖෂධවේ දී මිස්සක උදයංග කන්දමුල්ලගේ නමැත්තෙකි. ගැබ්ගෙල පිළිකාව සඳහා ලබාදෙන කාබෝෆැටීන් නමැති ඖෂධය පිළිකා රෝහලේ නොමැති බවත් එම ඖෂධය මෙම සැකකරුගෙන් ලබා ගැනීමට හැකියාවක් ඇති බවත් රෝහලේ කිසියම් තැනැත්තකු ප්‍රකාශ කර තිබූ බවත් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල සිදු කළ පැමිණිලිකරු ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.



ඒ අනුව අදාළ පැමිණිලිකරු සැකකරුගෙන් මහරගම ප්‍රදේශයේ දී එම ඖෂධය ලබාගන්නා අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ උපාය දූතයකු ඉදිරියේ දී වැටලීමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේ දී නිවසේ තිබී හාර ලක්ෂ විසි පන්දහස් නවසිය විසි පහක මුදලක් බෙහෙත් ඖෂධ පෙට්ටි තුළ තිබී සොයාගත් බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. එමෙන්ම සැකකරු සන්තකයේ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් බෙහෙත් නිවසේ තිබී සොයාගත් බවද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සැකකරු මෙවැනි වංචා සිදු කර ඇත්තේ සිය ජංගම දුරකථනය උපයෝගී කර ගනිමින් බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා සඳහන් කර සිටියේ, සැකකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නගා ඇති චෝදනාව අල්ලස් පනතට නොවැටෙන එකක් බවත්, ඔහු නීත්‍යානුකූලව ෆාමසියක් පවත්වාගෙන යන අයකු වන අතර අදාළ බෙහෙත් රජයේ බෙහෙත් නොවන බවත්ය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණසිංහ