අරණායක පොල්අඹේගොඩ ගොඩිගමුව ප්‍රදේශයේ අම්බලමක දී පියකු තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන සිටිය දී සොයාගත් බව අරණායක පොලිසිය කියයි.
අරණායක පොල්අඹේගොඩ ගොඩිගමුව ප්‍රදේශයේ වෙල්යායක් මැද ඇති ඉපැරණි අම්බලමක මෙම ඛේදනීය සිද්ධිය වී ඇති අතර,
මෙම ඝාතන පෙරේදා (5) මධ්‍යම රාත්‍රියේ හෝ ඊයේ (6) අලුයම් කාලයේ සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
පාසල් දරුවකු, අම්බලමේ ඇති මළසිරුරු දැක ඒ බව වැඩිහිටියන්ට දැනුම්දීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇත. පියා මුලින්ම එම දරුවන් දෙදෙනා එල්ලා මරා ඇති බවට සාක්ෂි අනුව අනාවරණය වන්නේ යැයි පොලිසිය සඳහන් කරයි. පියාගේ සිරුර අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලෙමින් තිබූ අතර, දරුවන් දෙදෙනාගේ සිරුරු පියා එල්ලි සිටි ස්ථානයේ බිම තිබෙනු දැක ගත හැකි විය.දරුවන්ගේ සහ පියාගේ පාවහන් එකම ස්ථානයේ තබා තිබූ අතර පියාගේ සිරුර තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ලක් මත ඔහුගේ ජංගම දුරකථනය ද දැකගත හැකි විය.
මිය ගිය දරුවන්ගේ සීයා (මවගේ පියා) වන 61 හැවිරිදි නිමල් විමලසූරිය සිද්ධිය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“ මිය ගොස් සිටින්නේ මගේ බෑනා සහ දුවගේ දරුවන් දෙදෙනායි. දැනට මාස දෙකට කලින් දරුවන් පාසල් ගියේ අපේ අරණායක ගොඩිගමුවේ ගෙදර සිටයි. පසුව බෑනා දරුවන් පාසල්වලින් අස් කරගෙන දුවත් එක්කම ඔහුගේ අම්මාගේ මහ ගෙවල් ඇති ගිරිඋල්ලට එක්ක ගියා. එහේදි දෙන්නා ආරවුලක් ඇති කරගෙන. මාගේ දුව අපිට කතා කරලා බෑනා කඩුවක් අරන් මරන්න පන්නන බව කීවා. පස්සේ අපි ත්‍රීවිල් එකක් අරන් ගිහින් දුව එක්ක ආවා. ඒ ගැන 5 වැනිදා උදේ අරණායක පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල විභාග කරන්න තිබුණේ අද (6) උදේ 10ටයි. 5 වැනිදා හවස බෑනා දරුවන් එක්ක බයිසිකලයෙන් ගොඩිගමුවේ අපේ ගෙදරට ආවා.
දරුවන් අපේ ගෙදරින් කෑම කාලා අයිස් ඉල්ලුවා. මම ෆ්‍රිජ් එකේ ඇති කන්න කීවාම ඒවාත් කාලා සතුටින් හිටියා. හවස බෑනා දරුවන් එක්ක යන්න ලෑස්ති වුණාම දැන් දරුවන් අරන් යන්න ඕනෑ නැහැ. හෙට නැවත එන්නත් තියෙනවනේ කියා මම කීවා. ඒත් දරුවන් පාසල් යවන්නත් ඕනෑ නිසා එක්ක යන්නම් කියලා ඔහු කීවා. එයාගේ ළමයිනේ මට බල කරන්නත් බෑනේ. ඒ අනුව ඔවුන් හවස 5ට විතර ගියා. රාත්‍රී 12.15 ට විතර බෑනා කොල් කර බයිසිකලය කැඩුණු නිසා එය දමා පයින් යන බව කීවා. එවේලේත් පයින් ගියාට කමක් නැහැ බොහෝම පරිස්සමින් ළමයි දෙන්නා එක්ක යන්න දරුවන්ට නිදිමතත් ඇති කියා කිව්වා. පසුව තමයි මේ සිද්ධිය වෙලා තිබුණේ"
මෙසේ ඝාතනය කර ඇත්තේ ත්‍රිත්මි කරුණාරච්චි ( 9 ) නමැති දියණියක සහ දෙනුවන් කරුණාරච්චි (6) නමැති දරුවකු වන අතර, දරුවන් ඝාතනය කිරීමෙන් පසු සියදිවි හානිකරගෙන ඇත්තේ වසන්ත කරුණාරච්චි නමැති 33 හැවිරිදි පියකු බව පොලිසිය සඳහන් කරයි.
මූලික පරික්ෂණ පැවැත් වූ මහේස්ත්‍රාත්වරයා, මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය. දරුවන් දෙදෙනාගේ සිරුරු බාර ගැනීමට දරුවන්ගේ මව කැමැත්ත පළ කළත්, සිය සැමියාගේ සිරුර බාර ගැනීම ඇය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුගේ මළ සිරුර ඔහුගේ ඥාතීන් විසින් බාරගනු ලැබීය.
යගිය දරුවන් දෙදෙනාගේ ලොකු අම්මා හඬාවැලපෙමින් මෙසේ කීවාය.
ඔය දරුවෝ දෙන්නා මා හදාගන්නම් කීවා. මා දරුවෝ දෙන්නා ඉල්ලුවත් දුන්නේ නෑ. ඇයි දෙයියනේ මොන හිතකින්ද මේ දරුවන් දෙදෙනා මේ ආකාරයට මරා දැම්මේ. මේකා තිරිසනෙක් නංගිටත් දසවද දුන්නා.
පී. ශාන්ත බණ්ඩාර
0 Comments