asia-cup-2023-pakistan

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව ඇති නමුත්, ඉන්දියාව හා පාකිස්තානය අතර දිගු කලක සිට පවතින ව්රසකය හේතුවෙන් මෙවර ආසියානු කුසලානය පාකිස්තානය තුළ පැවැත්වීමේ අවිනිශ්චිතතාවක් මේ වනවිට මතුව තිබේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) කමිටු රැස්වීමක් බහරේනයේදී පෙරේදා (04දා) පැවති අතර, එහිදී සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි විය. ඒ හේතුවෙන් 2023 ආසියානු කුසලානයට පාකිස්තානය සත්කාරකත්වය සපයන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීම එළඹෙන මාර්තු මාසය දක්වා කල්ගොස් ඇත.



මාසයක් ඇතුළත, එනම් ඊළඟ අයි.සී.සී. රැස්වීමේදී මේ පිළිබද අවසන් තීරණයක් ගනු ඇත. 2023 ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ අවිනිශ්චිතතාව පළමුව මතු වූයේ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. එවක ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්ද වන ජේ ෂා දන්වා සිටියේ, පාකිස්තානයට යාමට ඉන්දියාවට නොහැකි බවයි. ඒ නිසා බොහෝදුරට මධ්‍යස්ථ ස්ථානයක තරගාවලිය පැවැත්වීමට සිදුවනු ඇති බවයි. කෙසේ නමුත් පාකිස්තානු ක්‍රිකට් ආයතනය (PCB) ඊට අප්‍රසාදය පළ කළ අතර, එරට ක්‍රිකට් සභාපති නජාම් සේති, ජේ ෂාට දන්වා ඇත්තේ, ඉන්දියාව පාකිස්තානයේ ක්‍රීඩා නොකරන්නේ නම්, 2023 එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කිරිම සඳහා තමන්ද ඉන්දියාවේ ක්‍රීඩා නොකරනු ඇති බවයි.

2009 වසරේ ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසර ගණනාවක් යනතුරු ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාකිස්තානයේදී නොපැවැත්විණි.

කෙසේ නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති අතර, 3 පසුගිය වසර තුන පුරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රමානුකූලව පාකිස්තානය තුළ පැවැත්වෙමින් තිබේ. ඉන්දියාව හැර සියලුම රටවල් මේ වනවිට ආකෘති ත්‍රිත්වය යටතේම තරග සඳහා පාකිස්තානයේ සංචාරය කර ඇත. ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන විරසකය හේතුවෙන් වසර ගණනාවක සිට දෙරට අතර ක්‍රිකට් තරග නොපැවැත්වේ.

2012–13 තරග වාරයේ එක්දින තරගාවලියක් සඳහා පාකිස්තානය ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ සිට, ඉන්දියාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පවත්වා නොමැත. එසේම කණ්ඩායම් දෙකෙහි හමුවීම් අයි.සී.සී. සහ ඒ.සී.සී. තරග ඉසව්වලට සීමා වී ඇත. ඉන්දීය පිරිමි කණ්ඩායම 2008 වසරේ සිට පාකිස්තානයේදී කිසිදු තරගයක් ක්‍රීඩා කර නොමැති අතර, පාකිස්තානය අවසන් වරට ඉන්දියාවේ තරග සංචාරයක නිරත වූයේ, 2016 විස්සයි20 ලෝක කුසලානය සඳහාය.


විශ්ව මුදියන්සේ