tamasthan-case

අනුරාධපුර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන අපී.ඒ. චන්දානන්ද මහතා අපවත්වී වදාල පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ හොන්ඩා වෙසල් හා ලෑන්ඩ් කෘෂර් වාහන දෙක තමන්ට ලබාගැනීමට අවශ්‍යවී නඩුවක් ගොනු කර තිබේ. ඔහු වසර ගණනාවක් තිස්සේ හිමියන් ළඟින් ඇසුරු කරමින් සිටි බවත්

මෙම වාහන තමන්ගේ ගෙදර නවතා තිබූ බවත් කියන ව්‍යාපාරිකයා අපවත්වන්නට පෙර අසාධ්‍යව රෝහල්ගතව සිටි හිමියන් වෙතින් ඒ වාහන දෙකේ අයිතිය නීත්‍යානුකූලව ලියාගත් බවද කියා සිටියි. කෙසේ නමුත් මෝටර් රථ ලියාපදිංචිය පිණිස දෙපාර්තමේන්තුවට ලේඛන ඉදිරිපත් කළ පසුව වර්තමාන අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමි එම අයිතිය ලබාදීමට එරෙහිවී බාධා ඇති කර තිබෙන බවත් නඩුවෙන් කියයි.

 අනුරාධපුර දිසා අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ  වගඋත්තරකරුවන් වශයෙන්, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්,

අනුරාධපුර ශ්‍රී මහා බෝධි බෝමළුව විහාරවාසී කැකිරාවේ ඤාණසිරි හිමියන්, අනුරාධපුර ථූපරාමාධිකාරි කහල්ලේ ඤාණින්ද හිමියන් සහ අටමස්ථාන කාරක සභාව නම් කරනු ලැබ ඇත.

අනුරාධපුරයේ කීර්තිමත් ව්‍යාපාරිකයකු වන තමා අටමස්ථානාධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස නාහිමියන් සමග වසර 19ක පමණ කාලයක් කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන පෙත්සම්කාර පී.ඒ. චන්දානන්ද මහතා, පල්ලේගම සිරිනිවාස නාහිමියන් අසනීප තත්ත්වයෙන් සිටි සෑම අවස්ථාවකදීම ප්‍රතිකාර කටයුතු ඇතුළු අවශ්‍ය කටයුතු සපයා දෙමින්, තමා පියකු මෙන් උන්වහන්සේ රැක බලාගත් බව ද සඳහන් කර ඇත. සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී ඒ හිමියන්ගේ පෞද්ගලික ධනයෙන් උපයා සපයා ගත් සාංඝික නොවන දේපොළ කිහිපයක් මිලදීගත් බවත්, උන්වහන්සේගේ පෞද්ගලික පරිහරණය සඳහා එසේ මිලදීගත් වාහන වල ආරක්ෂාව සහ නඩත්තු කිරීමේ  වගකීම තමා වෙත පවරමින් එම වාහන තමාගේ  නිවෙසේ ගරාජයේ රඳවා තැබූ බවත් සඳහන් කරන පෙත්සම්කරු, සිරිනිවාස නාහිමියන් එම වාහනවලින් ගමන් බිමන් ගොස් යළි ඒවා තමාගේ ගරාජයේ රඳවා තැබූ බව ද සඳහන් කර තිබේ.

සිරිනිවාස නාහිමියන් 2022 ඔක්තෝබර් මුල් සතියේදී දැඩි ලෙස රෝගී වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේගේ නීතිඥවරයා පෞද්ගලික රෝහලට කැඳවා, හොන්ඩා වෙසල් සහ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථ දෙකේ අයිතිය තමා වෙත පැවැරූ බවත්, එම පැවැරීමේ ලේඛන අත්සන් කර නීතිඥවරයාට දී, එම වාහන හොඳින් රැක බලා ගන්නා ලෙස තමන්ට උපදෙස් දුන් බවත් සඳහන් කර ඇති පෙත්සම්කරු,

2022 ඔක්තෝබර් 18 වැනිදා අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමියන් අපවත් වූ බව ද සඳහන් කර ඇත. වාහන පැවැරීමේ ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර, ජීප් රථ දෙකේ අයිතිය තමන්ගේ නමට පවරා ගැනීම සඳහා කටයුතු කළ අවස්ථාවේදී, වගඋත්තරකාර හිමිවරුන් එම වාහන පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ පෞද්ගලික දේපොළ නොවන බවටත්, එම වාහන අටමස්ථානයට අයත් දේපොළ බවටත් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාට දැනුම් දෙමින්, එම වාහන තමන්ගේ නමට පැවැරීමට බාධා පමුණුවා ඇතැයි ද පෙත්සම්කරු සඳහන් කර ඇත.

ජීප් රථ දෙක සම්බන්ධයෙන් සිරිනිවාස නාහිමියන් තමන්ට සිදු කර ඇති පැවැරීම නීත්‍යනුකූල බවටත්, එම වාහන දෙක තමන්ට පවරා ගැනීමට නීත්‍යනුකූල අයිතියක් ඇති බවටත් තීන්දු කරන්නැයි ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත. ජීප් රථ දෙක තමන්ගේ නමින් පවරා ගැනීමට බාධා කිරීමට වග උත්තරකරුවන්ට කිසිදු අයිතියක් නැති බවට තීන්දු කරන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි දහයක් පමණ වටිනා අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක නීත්‍යනුකූල අයිතිය තමන්ට පවරා දෙන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයකු පවරා ඇති නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම්,

ලබන මාර්තු 15 වැනිදාට පෙර ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු නදීකා ඩී. පියරත්න මහත්මිය අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළාය. නඩුව සම්බන්ධයෙන් සමථයක් ඇත්නම්, එදිනට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස ද විනිසුරුවරිය දෙපාර්ශ්වයට වැඩිදුරටත් නියම කළාය.

උපාලි ආනන්ද