basil-speaks

තම ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් වන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය වෙනස් කර අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
ඊයේ හිරු ටීවී සලකුණ දේශපාලන සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බව කීය.



ද්විත්ව පුරවැසිභාවය පමණක් නොව ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට වෙනත් නීතිමය බාධාවක් ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද තමන් සූදානම් බව කියන ඔහු තමා සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කළ යුත්තේ රටේ ජනතාව බවද පැවසීය.

ඡන්ද ලක්ෂ 69ක් ලබාගත් ජනාධිපතිවරයකු ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කර රජයේ දේශපාලනඥයින් විශාල පිරිසකට ප්‍රචණ්ඩත්වය මුදාහරින පසුබිමක් තිබුණ බවත් එහිදී තමාට මේ මොහොතේ විශාල වගකීමක් පැවරී ඇති බවද ඔහු පැවසීය.
තම අනුගාමිකයන්ට ඒ දිනවල නිවෙස්වලින් පිටතට යාමට නොහැකි වූ බවත්, අරගල හේතුවෙන් දේශපාලනඥයන්ගේ දේපළ කිහිපයකට මහජනතාව විසින් පහර දී ගිනි තැබූ බවත් බැසිල් පැවසූ අතර පසුව තම කණ්ඩායම තෝරා ගත් රනිල් වික්‍රමසිංහ මහතා එම තත්ත්වය වෙනස් කර ඇති බවද ඔහු පැවසීය.



ගෑස් පිපිරීම්, ඉන්ධන පෝලිම්, පැය 10කට වැඩි විදුලි කප්පාදුව වැනි ප්‍රධාන ගැටලු විසඳීමට රනිල් වික්‍රමසිංහට හැකි වූ බව බැසිල් පැවසීය.

“දැනට අපිට ඔය සමාජ ප්‍රශ්න එකක්වත්  නැහැ. ඔහු එවැනි ගැටලු විසඳීමට හැකියාව ඇති පුද්ගලයෙකු බව අපි විශ්වාස කළා සේම ඔප්පු කරලා තියෙනවා ”බැසිල් පැවසීය