bentota-incident

බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි විවාහක කාන්තාවක අවුරුදු එක හමාරක සහ දහය වයසේ තම දරුවන් දෙදෙනා ඊයේ (26) පස්වරුවේ බෙන්තොට පාලම මත තබා ගඟට පැන සිටිය දී අසල බෝට්ටු සේවකයකු දියට පැන බේරාගෙන ඇති බව අලුත්ගම පොලිසිය කියයි. අලුත්ගම පොලිසියට ලැබුණු 119 හදිසි ඇමතුම් පණිවිඩයක් අනුව එම කාන්තාව 1990 ගිලන් රථය  මගින් බෙන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර අනතුරුව බළපිටිය ප්‍රාදේශීය රෝහලට මාරු කර ඇති බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව ඊයේ (26) උදෑසන බළන්ගොඩ ප්‍රදේශයේ සිට ඌරගස්මන්හන්දියේ සිටින සිය සැමියා හමුවීමට පැමිණ ඇති අතර ඇය සහ දරුවන් දෙදෙනා අලුත්ගම නගරය පසුකර බස් රථයේ ගමන් කරන අතරතුර සැමියා ඇයගේ දුරකතනයට ඇමතුමක් දී ආපසු යන ලෙස දැනුම් දී ඇතැයි පැවැසේ.

ඒ අවස්ථාවේ මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග බස් රථයෙන් බැස බෙන්තොට පාලම මතට පැමිණ වැඩිමල්  දරුවාට අවුරුදු එකහමාරක් වන දරුවා බලාගන්නා ලෙස දන්වා එකවරම ගඟට පැන ඇති බව අලුත්ගම පොලිසිය කළ පරීක්ෂණවල දී අනාවරණය කරගෙන තිබේ. අලුත්ගම පොලිසිය දරු දෙදෙනා රැගෙනවිත් ආරක්ෂා සහිතව රඳවා තබා ආහාර පාන ලබාදී ඇති අතර කාන්තාව බළපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුමාර අත්තනායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ආලෝක මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ සිදු කරයි.

තුසිත කුමාර ද සිල්වා