සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුව සිටි මාකදුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයකු බව කියන පුද්ගලයෙක් කේරළ ගංජා කිලෝ 14ක් සමඟ නවගමුව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු යාපනයේ සහ මන්නාරමේ සිට මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරම් කරන්නකු බවත්, පොල් ප්‍රවාහනය කරන මුවාවෙන් කුඩා ලොරි රථ රැගෙන ගොස් පොල් අතර සඟවා මෙම කේරළ ගංජා තොග ප්‍රවාහනය කරන බවත් විශේෂ කාර්ය බළකාය කියයි.



මෙම ගංජා තොග යාපනයේ සිට කොළඹ දක්වා තැන් තැන්වලට  බෙදාහරින බවට විශේෂ කාර්ය බලකාය පවසයි. කොළොන්නාවේ පදිංචි ‘සුරේෂ්’ නමින් හඳුන්වන සැකකරු මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි රාජ්‍යසේ සැඟවී සිට ඇති අතර ඩුබායිහි හෝටලයක උපන්දින සාදයක් පවත්වමින් සිටියදී එරට පොලිස් අත්අඩංගුවට පත්වූ මධුෂ් ඇතුළු විසි දෙනා අතර මෙම සැකකරු ද සිට ඇති බව පොලිසිය පවසයි. එම සිද්ධියෙන් පසුව මොහුද මෙරටට පිටුවහල් කළ සැකකරුවකු බව ද පොලිසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (11) රාත්‍රියේ නවගමුව නුගගහවත්ත ප්‍රදේශයේදී ලොරි රථය වටලා පරීක්ෂා කිරීමේදී ලොරියේ වියළි පොල්ගෙඩි අතර සගවා තිබූ කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ( බුද්ධි විශේෂ මෙහෙයුම් මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ උපදෙස් මත, බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා, පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිසියට භාරදී ඇත.