පොලොන්නරුව මනම්පිටිය පොලිස් වසමෙන් හොරා ගෙන එන ලදැයි කියන රුපියල් 32,000ක් වටිනා ගවයන් දෙදෙනකුගෙන් එක් ගවයකු ගෙවත්තේ බැඳගෙන සිටි බව කියන පොලිස් සැරයන්වරයෙක් කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය 20 දා අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර පොලිස් සැරයන්වරයාගේ ගෙවත්තේ බැඳ දමා සිටි සොරා ගෙන එන ලදැයි කියන එම ගවයා ද පොලිස් බාරයට ගෙන ඇත. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි.



සැකකාර පොලිස් සැරයන්වරයාගේ සහෝදරයකු ඔහුට අයත් ලොරි රථයක පටවාගෙන ආ බව කියන මෙම ගවයා සැරයන්වරයාට බාර දී ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.  මෙම ගවයා ලොරි රථයේ පටවාගෙන පැමිණ පොලිස් සැරයන්වරයාට බාරදුන් බව කියන එම සැරයන්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. තමාට අයත් ගවයන් දෙදෙනකු සොරාගෙන ගොස් ඇති බවට එම ගවයන් දෙදෙනාගේ හිමිකරු මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

මනම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකරගත් තොරතුරු අනුව මෙම සැකකාර පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් කන්තලේ මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.  සැකකාර පොලිස් සැරයන්වරයා කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මනම්පිටිය පොලිසිය දුන් තොරතුරු අනුවය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය