two-women-burnt-alive-during-demolition-drive-in-kanpur-dehat

ඉන්දියාවේ උතුරුදිග කාන්පූර් ඩෙහාත් දිස්ත්‍රික්කයේ ගම්මානයක අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්නට යාමට නේවාසිකයින් පිරිසක් දැක්වූ විරෝධතාවය අතරේ මවක හා දියනියක පණපිටින් පිළිස්සී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවේ.


මදවුලි  නමැති ගම්මානයේ සඳුදා අනවසර ඉදිකිරීම් ඉවත්කරන මෙහෙයුමක් එම ගම්මානයේ  රජයේ ග්‍රාම සමාජ නිලධාරීන් හා පරිපාලන කණ්ඩායමක් සිදු කරමින් සිටි අතර බැකෝ යන්ත්‍ර වලින් පිදුරු සෙවිලි කළ පැල්පත් කඩා ඉවත් කිරීමක් සිදුවිය. මෙම අවස්ථාවේ නේවාසිකයින් එම ස්ථානයට පැමිණ එසේ නොකරන ලෙස විරෝධතාවයේ නිරත වන්නට විය.



එක් නිවසක සිටි කාන්තාවක මෙය තවදුරටත් කළහොත්, ගිනි තබා ගන්නා බවට තර්ජනය කර තිබූ අතර පසුව එම කාන්තාව සහ ඇයගේ දියණිය පැල්පත තුළට වී විරෝධතාවයේ නිරත වූ බව සඳහන්වේ.
ටික වේලාවකට පසු පැල්පත තුළ ගින්නක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාව සහ ඇගේ දියණිය පණපිටින් පිළිස්සී ඇත.
මෙම සිද්ධියෙන් මවක වන ප්‍රමිලා ඩික්සිත් (44) සහ  දියණිය නේහා (19)මියගොස් තිබේ.
 ප්‍රමිලාගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා ගින්න මැදට පැන ඔවුන් බේරාගන්නට උත්සාහ කළත් උත්සාහය අසාර්ථකවී ඔවුන් තුවාල ලබා ඇත.
සැමියා ක්‍රිෂ්ණා ගෝපාල් සහ ඔහුගේ පුත් ශිවම් ඔවුන්ගේ නිවසේ ඇති වූ මාරාන්තික ගින්නට පරිපාලන නිලධාරීන් වගකිව යුතු බවට චෝදනා කර තිබේ. මෙම සිදුවීම නිසා තත්වය වඩාත් උණුසුම් විය. සිද්ධිය සැලවීමත් සමඟ ගම්වාසීන් විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී විශාල ආන්දෝලනයක් ඇති කළ අතර සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.