chathuri-hansika-death

කොළඹ තුරඟ තරග පිටිය  ප්‍රදේශයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි තරුණියගේ මරණය අපරාධයක් බව තීරණය කළ

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පොලීසියට ඊයේ (27දා) නියම කළේය. ඇගේ පෙම්වතා විසින් සිදු කළැයි කියන අපරාධයෙන් ඇගේ ගෙලට සිදුවූ තුවාලවලින් අධික රුධිර වහනයෙන් සිදුවූ මරණයක් බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් තීරණය කළේය. චතුරි හංසිකා මල්ලිකාරච්චි තරුණිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සහ  ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස තීරණය කළේය.



සිද්ධියෙන් මියගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයනේ පදිංචිව සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ  විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ අවස්ථාවේදී සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකාර පෙම්වතා බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයා ඉදිරිපත් කර නොතිබුණි. බන්ධනාගාර නිලධාරීහු ඔහු සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු මානසික ප්‍රතිකාර ලබමින් සිටින බව දැනුම් දුන්හ.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී කොළඹ තුරග තරග පිටියේ ආරක්ෂක නිලධාරී ජයසුන්දර සහ මරණයට පත්වූ ශිෂ්‍යාවගේ මිතුරෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවකු වන නිපුන් අබේසිංහ නමැත්තන් සාක්කි ලබා දුන්හ.

ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණාපරීක්‍ෂණ වාර්තාව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙය අපරාධයක් බව තීරණය කළේය.  සිද්ධියට අදාළ පැමිණිල්ල මාර්තු 13 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කළේය.

බුද්ධිමාල් රුබේරු