chethan-sharma-speaks

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ හිටපු තේරිම් කමිටු ප්‍රධානී වේතන් ෂර්මා එරට රූපවාහිනී නාලිකාවක් සමග සිදුකළ  සම්මුඛ සාකච්ඡාවක් මේ වන  විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇත. මෙම සාකච්ඡාවේදී වත්මන් ක්‍රිකට් ලොව අංක එකේ කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායමේ,

ක්‍රීඩකයන් උත්තේජක ලබාගන්නා බවට ඔහු ප්‍රසිද්ධියේ හෙළි කර ඇත. තවද ඉන්දීය ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති සෞරව් ගංගුලි හා හිටපු නායක විරාත් කෝලි අතර ඇති වූ හිත් අමනාපකම් මෙන්ම එම නිසාම කෝලිට නායකත්වය අහිමි වීම පිළිබඳවද මෙම සංවාදයේදී චේතන් ෂර්මා පැහැදිලි කර ඇත.



පෙරේදා (14දා) පැවැති මෙම සංවාදය වඩාත්ම මතභේදයට තුඩු දී ඇත්තේ ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන අංශ ත්‍රිත්වයේම මේ වන විට ලොව අංක එකේ  කණ්ඩායම බවට ඉන්දීයාව පත්ව සිටියදී මෙවැනි කැළඹිලි සහගත  ප්‍රකාශයන් සිදුකිරීමයි. ඉන්දීය සංචිතයේ  ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව  සියයට සියයක්ම නොමැති වුවද, උත්තේජක භාවිත කිරීම මගින් ශාරීරික යෝග්‍යතාව සම්පූර්ණයෙන් වර්ධනය කර ගැනීමට ඔවුන් හුරු වී සිටින බව ෂර්මා පෙන්වා දෙයි. පෞද්ගලික වෛද්‍යවරු මාර්ගයෙන් ඉන්දීය ක්‍රීඩකයන් එම එන්නත් ගැනීමට හුරු වී සිටින බවත්, එම උත්තේජක, පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා ඉන්දීය ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් මුනිවත රැකි බවටද ඔහු චෝදනා කරයි.

මෙම එන්නත් ලබා ගත්තද ක්‍රීඩකයන්ට අතුරු  ආබාධ ඇතිවී නොමැති බවද හෙතෙම පැවසුවේය. පසුගිය කාලය පුරාවටම ආබාධයකට ලක්වූ ඉන්දීය කණ්ඩායමේ සුපිරි  ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා නැවත කණ්ඩායමට පැමිණීමට දැඩි  ආයාසයක් ගත්තද, වෛද්‍ය විද්‍යානුකූලව ඔහුගේ ආබාධය සම්පූර්ණයෙන් සුව අතට හැරී නොමැති බව ෂර්මා වැඩිදුරටත්  පැවසීය.  2020 වර්ෂයේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා බවට පත්වූ ෂර්මා පසුගිය වසරේ (2022) විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය දක්වාම එම තනතුරේ රැඳී සිටියේය. කෙසේ වෙතත් එම තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉන්දියාව ඉවත්වීමත් සමගින් ෂර්මාටද එම ධුරය අහිමි විය.

මේ අතර  2021 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර විරාත් කෝලි මාධ්‍ය වෙත අසත්‍යයක් ප්‍රකාශ කළ බව තේම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා හෙළිදරව් කර තිබුණි. ඔහු පවසන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි, කෝලිගේ විස්සයි20 නායකත්වයෙන් ඉවත් වීම වැළැක්වීමට උත්සාහ නොකළ බවට කෝලි ප්‍රකාශ කළ බවයි. කෙසේ වෙතත් ෂර්මා පවසන පරිදි,

ගංගුලි ඒ අවස්ථාවේ යෝජනා කර ඇත්තේ, කෝලි ඒ ගැන වරක් සිතා බැලිය යුතු බවටයි. නමුත් කෝලි ටෙස්ට් නායකත්වයෙන්ද ඉල්ලා අස්වූ අතර, රෝහිත් ෂර්මා ක්‍රීඩාවේ සියලුම ආකෘතීන්හි නායකත්වය භාර ගත්තේය.

"මෙලෙස ක්‍රීඩකයන් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අතර ඇති ඕනෑම ආකාරයක ගැටුමක් ඇතිවීම භයානක කරුණක්. කෙසේ වෙතත් මෙහි වැරැද්ද කාගේද යන්න තවමත් හරිහැටි විනිශ්චය කිරීමට නොහැකියි. නමුත් මේ ආකාරයේ හෙළිදරව් කිරීම් සෘජුවම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත කරනු ලබන බරපතළ ප්‍රහාරයක්. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නිසා තමාට නායකත්වය අහිමි වූ බව විරාත් කෝලිට හැඟුණා. එහෙත් ත්‍රේම් කමිටු වීඩියෝ සම්මන්ත්‍රණයේ 09 දෙනෙක් සිටියා. ගංගුලි එයාට කියන්න ඇත්තේ 'නායකත්වයෙන් ඉවත්වීම ගැන එක පාරක් හිතන්න' කියලා වෙන්නැති.

එහෙත් මම හිතන්නේ කෝලිට එය ඇසුණේ නැහැ, මම සහ අනෙකුත් සියලුම තේරිම් කමිටු නිලධාරින්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින් ඇතුළු තවත් 09 දෙනෙක් එහි සිටියා. නමුත් කෝලි නායකත්වයේ මාතෘකාවක් ඒ මොහොතේ ගත්තේ ඇයිදැයි මම දන්නේ නැහැ. සමහර විට කෝලි එය හිතාමතාම කළා විය හැකියි. කෝලි කිව්වේ බොරු, ඒ ගැන හිතන්න කියලා ගංගුලි කිව්වා. කෝලි බොරු කිව්වේ ඇයි කියලා මේ වෙනකම් කවුරුත් දන්නේ නැහැ. විරාත් කෝලිට සුදු පන්දුවේ නායකත්වය අහිමි කිරීමට සෞරව් ගංගුලි විශාල දායකත්වයක් ලබා දුන් බව ඔහුට දැනෙන්නට ඇති" යනුවෙන් එහිදී චේතන් ෂර්මා වැඩිදුරටත් පවසා තිබේ.

පැතූම් ශ්‍රී ජේරත්න