commision-election-court

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වී ඇති බැවින් එම මූල්‍ය පහසුකම ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් ප්‍රකාශයක් ගොනුකර ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශය ගොනුකර ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පක්ෂව සහ ඊට එරෙහිව ගොනුකර ඇති නඩුකර සම්බන්ධයෙනි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් එම දිවුරුම් ප්‍රකාශය ගොනුකර ඇත.එම දිවුරුම් ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.

මැතිවරණ  කොමිසමේ බලධාරීන් ජනවාරි 9 වැනිදා දාතම ලිපිය මගින් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය වාහන සහ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඊට යහපත් ප්‍රතිචාර නොලැබිණි.  පසුගිය ජනවාරි 18 වැනිදා පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය පහසුකම් වන විදුලිය, ජලය සහ දුරකතන ආදී පහසුකම්වල අවශ්‍යතාවය විදුලි හා බලශක්ති අමාත්‍යාශයේ, ජල සම්පාදන  හා ජලාපවාහන මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන්ට මැතිවරණ කොමිසම පෙන්වා දී තිබේ.

පසුගිය ජනවාරි 06 වැනිදා මැතිවරණ කොමිසම මගින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දී ඇතිවන මූල්‍ය ප්‍රතිපාදන දුෂ්කරතා පිළිබඳව මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය විදේශ විනිමය හිඟයක් ඇති බවට මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර ඇත. කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 1000 ක් වෙන්කර තිබේ. මෙම වසරේ ජනවාරි මස අවසානය වනවිට රුපියල් කෝටි 3 ක මුදලක් පළාත් පාලන මැතිවරණය සඳහා වැය කර ඇත. මෙම තත්වය තුළ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම අතිදුෂ්කර කාර්යයක් වී තිබේ. එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ අනෙකුත් පහසුකම් ලබාදීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම සිය දිවුරුම් ප්‍රකාශයෙන් ඉල්ලා ඇත.
රන්ජන් කටුගම්පොළ