cow-lorry

ගවයන් විසිදෙනකු මස් පිණිස නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට  පෙරේදා (8) වෙඩි තබා නතර කර, එහි රියැදුරු සහ තවත් අයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලීසිය පවසයි.පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ලොරි රථයට වෙඩි තැබීමට සිදුවූ බවත්, එහි සිටි තවත් දෙදෙනකු පලා ගිය බවත්,

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. තිස්සමහාරාම ජූලපතාන වැව් පිටියෙන් පෙරේදා (8) මෙම ගවයන් ලොරියට පටවා ඇති අතර, එම ලොරි රථය පසුපස ලුහුබැඳ සිරියාගම ප්‍රදේශයේ දී එය නවතා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. එහි සිටි ගවයන් විසි දෙනාගෙන් එක් ගවයකු ගෙල සිරවී මියගොස් සිටි බව ද පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිරියාගම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, අඩි 12ක් දිගැති මෙම ලොරියේ පැටවුන් දෙදෙනකු ද සමග එළ ගවයන් විසි දෙනකු අමානුෂික ලෙස ගැට ගසා එකා උඩ එකා ලෙස පටවා තිබූ බව ද පොලීසිය සඳහන් කරයි. එම ගවයන් ලොරියෙන් එළියට ගන්නා අවස්ථාවේ කිරි එළදෙනක ගෙල සිර වී මිය ගොස් සිටි අතර තවත් ගවයන් කිහිපදෙනකු මරණාසන්නව සිට ඇතැයි පොලිසිය කියයි. මෙම ගවයින් ගව පට්ටියකින් රුපියල් ලක්ෂ 10 කට මිලදීගෙන බේරුවල මස් කඩයකට රැගෙන යාමට ගිය බව සැකකරුවන්ගෙන් පැවසූවේ යැයි පොලීසිය සඳහන් කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ 'ගහන්න එපා සර්, ඒ එස් පී මහත්තයා තමයි දවල් 12ට හරක් පටවන්න කියල කිව්වේ' යනුවෙන් පැවසූ බව එම ස්ථානයට රැස්ව සිටි ගම්වාසීහු පැවසූහ.

මේ පිළිබඳ කළ විමසීමක දී තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝහර කුඩාගොඩගේ යසස් මහතා පැවසුවේ සැකකරුවන් එවැන්නක් පොලීසියට පවසා නැති බවත් බේරීමට එසේ පවසන්නට ඇති බවත්ය.  ජූල්පතාන වැව් පිටියේ ලොරියකට ගවයන් පටවන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශ නිලධාරීන් එම ස්ථානයට යන විට එම ලොරිය වේගයෙන් ඉදිරියට පැමිණ ඇති අතර එයට නතර කරන ලෙස අණ කළ විට නවත්වා පොලිස් නිලධාරීන් ඒ අසලට පැමිණෙන විට නැවත වේගයෙන් ඉදිරියට ධාවනය කළ බව එම පොලිස් නිලධාරියා කීවේය.



ඉදිරියට ධාවනය කළ ලොරිය පසුපස පොලිස් බුද්ධි අංශ නිලධාරීන් සිවුදෙනකු යතුරුපැදි දෙයකින් ලුහුබැඳ ගොස් ටයර්වලට වෙඩි තබා ඇති අතර ඉන්පසුව ද ඉදිරියට ගිය ලොරි රථය පොලිස් යතුරුපැදි යටකර පලා යාමට ද උත්සාහ කර ඇත.  ලොරිය නැවැත් වූයේ ටයර්වලට තව වෙඩි කිහිපයක් තැබීමෙන් පසුව ලොරිය පෙරළීමට ගිය නිසා බව ද එම නිලධාරියා පැවසීය. ලොරි රථයක ප්‍රවාහනය කළ හැක්කේ ගවයන් දෙදෙනකු වුවත් මෙහි අමානුෂික ලෙස ගවයන් විස්සක් රැගෙන යාමට කටයුතු කළේ ඇයි දැයි විමසු අවස්ථාවේ 'කොහොමත් මසට නේ සර් ගෙනියන්නේ' යනුවෙන් ද සැකකරුවන් පවසා ඇත.  අත්අඩංගුවට ගත් ලොරි රථය බේරුවල ප්‍රදේශයේ එකකි. ලොරිය ගවයන් සහ සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඊයේ (9) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම ලොරි රථයට වෙඩි තැබීමේ දී උද්දකන්දර ප්‍රදේශයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට ද හානි වී තිබිණි. එහි හිමිකරු බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වෙඩි වැදීම සිදුවන විට ඔහු එහි සිට නොමැත.

අමිල සම්පත්