darshana-handungoda-released

මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට වූ සිදුවීමේ දී ප්‍රචණ්ඩත්වය ඉස්මතු වන අන්දමින් වීඩියෝවක් නිර්මාණය කර සමාජ මාධ්‍යවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී හදුන්ගොඩ කෝරලාගේ නිශාන්ත දර්ශන රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමකට අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙමින් සිටි සැකකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියේ ඊයේ (06) පෙරවරුවේ දීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පොලිස්පතිවරයා ඉකුත් මැයි 19 වැනිදා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් ඒ අනුව සිද්ධියට අදාළව සැකකරුගෙන් ඉකුත් මැයි 31 වැනිදා තම දෙපාර්තමේන්තුවට කැඳවා පැය 0425 ප්‍රකාශයක් සටහන් කරගත් බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. මෙහි වැඩිදුර ප්‍රකාශ සටහන් කිරීම සඳහා ජනවාරි මස 20 වැනිදා පෙනී සිටින ලෙසට දැනුම් දුන්න ද ඔහු නොපැමිණි බවත් වැඩිදුරටත් විමර්ශනය කර බැලීමේ දී සැකකරු විදෙස්ගත වූ බවට වාර්තා වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.



ඒ අනුව අධිකරණයෙන් ලබාගත් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව ඩුබායි රටට පිටව ගොස් නැවත පැමිණීමේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා කලින් යොදා ගත් කාර්යයක් සඳහා ඩුබායි රටට ගිය බවත් ඔහු ඉතාලි රටේ වීසා පවා ලබා සිටින අයකු බවත් ය.  මෙම විමර්ශනයට සහාය ලබාදීම සඳහා පැමිණි බවත්, තම සේවාදායකයා යූ ටියුබ් නාලිකා පවත්වාගෙන යන අයකු වන අතර ඔහුට එල්ල කර ඇති චෝදනාවන්ට පරිගණක අපරාධ පනත අදාළ නොවන බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, ලබන මැයි මස 17 වැනිදා තෙක් නඩුව කල් තැබීය.
නිමන්ති රණසිංහ