death-sentence-president-decition

මරණ දඬුවම නියම කර ශ්‍රී ලංකාවේ කුමන හෝ බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් නීතිපතිවරයා ඒ බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක්ද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට ඊයේ (23) ඉදිරිපත් කළේය. මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවන්ව මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින විත්තිකරුවන් හතර දෙනකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ලේඛනවලට අත්සන් තැබීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ දී ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම්  පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේ දී මරණ දඬුවම නියම කර ශ්‍රී ලංකාවේ කුමන හෝ බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ලේඛනවලට අත්සන් නොකිරීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා දැනුම් දුන්නේය.



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන  විජිත්  මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්, තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැඳුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේ දී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව දැනුම් දුන්නේය. මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවන්ව මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින විත්තිකරුවන් හතර දෙනකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සඳහා ලේඛනවලට අත්සන් තැබීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ දී ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අදාළ සිරකරුවන්, විකල්ප ප්‍රතිපත්ති  කේන්ද්‍රය, ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි  විත්තිකරුවන් හතරදෙනකුගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන බවට  2019 ජූනි 26 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් විත්තිකරුවන් තෝරාගත් ආකාරය පිළිගත් පටිපාටියට පටහැනි බව එම පෙත්සම්වල සඳහන් කර තිබිණි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිපත්තිය නොවන හෙයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.



පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ලංකාවේ කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොකිරීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයා වෙත යොමු කළ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන මහත්වරු කරුණු දක්වමින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතත් අනාගතයේදී පත් වන ජනාධිපතිවරුන් මෙම තීරණය අනුව කටයුතු කරනු ඇතැයි අනුමාන කළ නොහැකි යැයි පැවසූහ. මේ හේතුවෙන් මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුවක් අපේක්ෂා කරන්නේ යැයි කී සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.

මනෝප්‍රිය ගුණසේකර