dig-sarath-kohuwala

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සරත් ලූගොඩ මහතාගේ කොහුවල, නිවෙස බිඳ රුපියල් ලක්ෂ 18 කට පමණ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ආණමඩුව නගරයේ දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන විසින් පෙරේදා (06) මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

සරත් ලූගොඩ මහතා සහ ඔහුගේ පවුලේ අය නිවසේ නොමැති අවස්ථාවක සැකකරු ඉකුත් වසරේ අගෝස්තු මස 22 වැනිදා හොර රහසේ නිවෙසට ඇතුළු වී පවුම් 14 කට අධික මෙම දේපළ සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  මගින් විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි. එම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් කළ දීර්ඝ විමර්ශනයක දී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගෙන ඇති අතර සැකකරු සොරාගත් රන් ආභරණ කිහිපයක් උකස් තැබීම සඳහා ආණමඩුවේ උකස් ආයතනයකට ගොස් සිටිය දී ලද තොරතුරකට අනුව පෙරේදා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.



අත්අඩංගුවට ගත් සැකකරු  නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු බවත් කොළඹ ප්‍රදේශයේ නිතර සැරිසරමින් වසා දමා ඇති නිවාසවල තොරතුරු සොයා බලා පසුව එම නිවෙස්වලට ඇතුළු වී දේපල සොරකම් කරන පුද්ගලයකු බවත් පොලිසිය කියයි.  සැකකරුට එරෙහිව ගෙවල් බිඳුම් චෝදනා රැසක් ඇති බවද පොලිසිය සඳහන් කරයි.සැකකරු භාරයේ තිබී රන් භාණ්ඩ රැසක් පොලිසිය භාරයට ගෙන ඇති අතර, රන් භාණ්ඩ කිහිපයක් හලාවත ඇතුළු ප්‍රදේශ රැසකට අලෙවි කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි   කරගෙන ඇත.

බිමිල් ශ්‍යාමන් ජයසිංහ