ඇය එකම නාට්‍යයක් තුළ අහසට පොළොව මෙන් වෙනස් වූ චරිත දෙකක් එක්වර නිරූපණය කරන්නියක්. එකී ආල වට්ටමෙන්ම පපුවට වචනවලින් වෙඩි තියන බන්ටිවත් මුවැත්තියක් මෙන් වූ සරණිවත් ඔබගේ ඇස් මායිමේ පෙනී නොපෙනී යනවා සිකුරුයි. සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලද ඇය දුෂේනි මියුරංගියි.
සම්මානනීය වූ සතුට වචනවලට පෙරලුවොත්?
ජනප්‍රියම සම්මානය ලැබීම තුළ ප්‍රේක්ෂකයන් මාව වැලඳගත්තා කියන්නට සාක්ෂියක් ලැබුණහා සමානයි. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ක්ෂේත්රයට මම අලුත් නිසා එවැනි සම්මානයක් ලැබීම ගැන මටම පුදුමයි. සුමති සම්මාන උලෙළට ඒ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා.
පාර දිගේ ටෙලි නාට්‍යය දුශේනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කියා කිව්වොත්?
ඔව් ...මටත් එහෙම හිතෙනවා. මීට පෙර මම විවිධ නිර්මාණවලට දායක වී තිබෙනවා. නමුත් මේක මගේ හරි වෙලාව කියලා මට හිතෙනවා. පාරදිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වී දැනට අවුරුදු දෙකක් ගත වෙනවා. එදා ඉඳල හැමදේම හොඳ විදිහට සිදු වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ආදරයත් දිනෙන් දින මට වැඩි වුණා. මට රඟපාන්න පුළුවන් කියන නිගමනය මිනිස්සුන්ට දැකුණේ පාර දිගේ ටෙලි නාට්‍ය තුළිනුයි. මගේ රූපයත් එක්ක මිනිස්සු මාව නිගමනය කරන්නේ සීනිබෝල චරිතයක් කියලා. මේ චරිතයට තෝරා ගැනීමේදීත් එකී ගැටලුව තිබුණා. නමුත් මම ඒ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා මට හිතෙනවා.
ශිවගුරුනාදන් කියන දක්ෂ අධ්යක්ෂවරයා යටතේ කටයුතු කරන විට ඔබ ඔහුගෙන් ඉගෙනගත් දේ මොනවාද?
නළුවෙක් හෝ නිළියක් තරුවක් වෙන්න නම් ශිවා අයියාගේ අහසේ පායන්න ඕන කියලා කියමනක් මම කොහේ හෝ තැනක දැක්කා. මමත් එම කියමන සියයට සීයක් ඇත්ත කියල විශ්වාස කරනවා. මං නිර්මාණ ගණනාවක රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කර තිබෙනවා. නමුත් මිනිසුන්ගේ ආදරය ලැබුණේ ශිවා අයියගේ නිර්මාණය තුළදියි. ශිවා අයියට ලොකු වාසනාවක් තිබෙනවා. ඒ වාසනාව අපටත් බෝවෙනවද කොහෙද? ශිවා අයියා කියන්නේ හොඳ මනුස්සයෙක්. නිහතමානි අධ්යක්ෂවරයෙක්. ඔහුගෙන් රංගනය ඉගෙන ගත්ත වගේම ජීවිතයට ඉගෙන ගත් පාඩම් ගොඩයි. සම්මාන සීයක් ලැබුණත් ශිවා අයියාගේ නිහතමානීකම බිංදුවක්වත් අඩු වුණේ නැහැ. මුලින්ම මට ශිවා අයියා සමඟ වැඩ කරන්න ආසාවක් ඇති වුණේ රංගනය පිළිබඳව හදාරන්න පමණයි. නමුත් ඔහු ඇත්තටම ජීවිතයට පාඩම් උගන්වන්නෙක්.
බන්ටි චරිතය සාර්ථකව ඉදිරිපත් කරන්න සැබෑ ලෝකෙ එවන් චරිත ඔබ ගවේෂණය කර තිබෙනවාද?
බන්ටි ජීවත් වෙන පරිසරය සමඟ මුහු වෙන්න මට අවස්ථාවක් ලැබිලා නැහැ. රංගන ශිල්පිනියක් වුණාම විවිධ පරිසරවල නොයෙක් පුද්ගල චරිත අධ්‍යයනය කළ යුතුයි. නමුත් එවැනි චරිත ගවේෂණය කර නොතිබීම මගේ ලොකු දුර්වලතාවයක්. අප රූගත කිරීම් සිදු කළේ අගුලාන ප්‍රදේශයේදී. එහිදී චරිත කිහිපයක් මම අධ්‍යයනය කළා. ඔවුන් කතාබහ කරන විදිහ, ඇවිදින විදිහ සුකුමාල නොවී කිරීමට මම පුරුදු වුණා. ලොකු අධ්‍යයනයක් නොතිබුණත් මම එක මොහොතක දී බන්ටිව මගේ කර ගත්තා. එයින් ලොකු පන්නරයක් මට ලැබුණා.
බන්ටි චරිතය තුළදී දරුණු කම්මුල් පාරවල් ගණනාවක්ම කීප අවස්ථාවකදිම ගහන්න ඔබට සිදුවුණා. ඒ අත්දැකීම ඔබට දැනුණේ කොහොමද?
මම ගැහුව නෙමෙයි මට ගහන්න සිද්ධ වුණා. සද්ධට අයියා මාව වීරවරියක් කරල ලිව්වා. ඉතින් මම වීරවරියක් බවට පත්වුණා. ෆයිට් සීන් එකක් කරනකොට අනිත් පාර්ශවයට රිදෙයි කියලා හිතෙන නිසා ම මට ඒක හරියට කරන්න බැහැ. අනිත් අයට ගහන එක මං සන්තෝසෙන් කරන වැඩක් නෙමෙයි. නමුත් ප්‍රේක්ෂකයන් ඒ විවිධත්වය ආදරයෙන් වැලඳ ගත්තා. ඒවා සුන්දර අවස්ථාවන් වුණත් ඔවුන්ට ගහලා ඊළඟ තත්පරේ එයාලගේ මූණට අයිස් තියන්නෙත් මමමයි.
ඉන්දියාවේ ගමනේ සොඳුරු මතකයන් මතක් කළොත්?
ඉන්දියාවේ ගමනෙහි සොඳුරු මතකයන් ගොඩක් තියෙනවාෙ. ඒක මම යා යුතු ගමනක් කියා සැලසුම් කළ දෙයක් නෙමෙයි. මගේ ජීවිතය ගොඩක් සිදුවීම් සිදුවුණේ එසේ අනපේක්ෂිතවයි. මම ඉන්දියාවෙ මුම්බායි වලයි හිටියේ. කොරෝනා උවදුර නිසා මට නැවත ලංකාවට එන්න සිදුවුණා. ඉන්දියාවේදී මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මාර්ශල් ආර්ට්, සටන්, නිරූපණය, නර්තනය වැනි බොහොමයක් දේවල් මම එහිදී හැදෑරුවා . තවත් කළ යුතු වැඩ කිහිපයක් ඉතිරි වී තිබෙනවා. ඉන්දියාවට ගිහින් ඒ වැඩ කටයුතු සම්පූර්ණ කළ පසු ඒ ගැන මම කතා කරන්නම්.
ඉන්දියාවේ කලා නිර්මාණ සමඟ ගැටුණු කෙනෙක් ලෙස ලංකාවේ කලා ක්ෂේත්රයේ සංවර්ධනය විය යුතු පැතිකඩයන් ලෙස ඔබ දකින්නේ මොනවා ද?
මට හිතෙනවා අපේ නිර්මාණවලට හොඳ පිටපත්වල අඩුවක් තිබෙනවා කියලා. අපට ගොඩක් වියදම් දරන්න අවශ්‍ය නැහැ. චිත්‍රපටියක් කිරීමට ප්‍රමාණාත්මක මුදලක් වැය වෙනවා. නමුත් අඩු බජට් එකකින් වුණත් ගුණාත්මක නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ලබාදිය හැකියි. හොඳ පිටපත් රචකයන් අපට අවශ්‍යයි. ඒ වගේම අලුත් පරම්පරාව එක්කර ගෙන චිත්‍රපටි ක්ෂේත්රය අලුත් වෙන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. එහෙම නැති වුණොත් අපේ චිත්‍රපටි ක්ෂේත්රය වයසට යාවී. අලුත් පරම්පරාවක් චිත්‍රපටි ක්ෂේත්රය තුළ බිහි වුණොත් එහි නව පිබිදීමක් වේවි.
ඔබ නිර්මාණ තෝරා බේරාගෙන දායක වන කෙනෙක්ද?
මම ගොඩක් තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට ආරාධනා ලැබෙනවා. නමුත් මම සීමා සහිතව නිර්මාණ තෝරගෙන ඒවාට දායක වෙනවා. මට ආස චරිතයක් ලැබුණොත් මම කරනවා. බන්ටි කියන්නෙත් ඒ වගේ මං ගොඩක් ආස චරිතයක්. නුදුරේදීම මං ආසාවෙන් කළ තවත් නිර්මාණයක් විකාශය වීමට නියමිතයි.
එක් චරිතයක් සාර්ථකව නිරූපණය කළ විට රංගන ශිල්පීන් එකී චරිතය තුළ කොටු කරන අවස්ථාවන් අප දකිනවා. ඔබටත් එකම කුලේ නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවද?
ඒ ප්රශ්නය ලෝකෙ පුරාම තිබෙන ප්‍රශ්නයක්. මට බන්ටි වගේ චරිත බොහොමයකට ආරාධනා ලැබුණා. නමුත් මම ඒ චරිත ප්‍රතික්ෂේප කළා. මොකද මිනිසුන් මම තුළින් දකින්නෙ බන්ටිව විතරයි. ඒ නිසා ඒ හා සමාන තවත් චරිතයක් නිරූපණය කරන්න මට අපහසුයි. type casting කියන දෙය වෙනස් කළ හැක්කේ අපටමයි. නිර්මාණයකට ආරාධනා ලැබෙන කොට ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
මිස් ශ්‍රී ලංකා වෙන බොහොමයක් දෙනා කලා ක්ෂේත්රයට පිවිසී නිර්මාණ අතළොස්සකින් එයින් ගිලිහෙනවා. ඔබ එහි ස්ථාවරයක් ගොඩ නගා ගන්නෙ කොහොමද ?
මම ගොඩක් වාසනාව හා වෙලාව කියන දේ විශ්වාස කරන කෙනෙක්. හොඳ වෙලාව ආවම හැම දෙයක්ම හොඳ විදියට සිදුවෙනවා කියලා මම හිතනවා. මම විශේෂයෙන් ඒ සඳහා කරපු දෙයක් නැහැ. නමුත් මම නිර්මාණයක් බාර ගත්තම ඊට උපරිම සාධාරණය ඉටු කරනවා. මම හරියට රඟපාන්න පටන් ගත්තෙ පාර දිගේ බණ්ටිගෙ චරිතයෙන් පසුවයි. එතැන් සිට මට ලැබුණු සෑම චරිතයකටම මම සියයට සියයක් සාධාරණය ඉටු කිරීමට මහන්සි වුණා. චරිතයක් නිරූපණය කිරීමේ දී මම හිතන්නේ මගේ පෙනුම ගැන නෙමෙයි. මගේ චරිතය ගැන පමණයි. වීදුරු මල් ටෙලිනාට්‍යයේදි මගේ පෙනුම සම්පූර්ණයෙන්ම කැත කරනවා. එතැනදී මම කිව්ව තවත් මාව කැත කරන්න කියලා . ඒ තරමටම චරිත තුළ මං පරිණත වෙලා කියලා මට හිතෙනවා. 2020න් පස්සෙ මං කරන චරිත පිළිබඳ ලොකු උනන්දුවක් මම දක්වනවා.
දුශේනි කියන්නේ හිතේ එකයි කටේ එකයි නැති රංගන ශිල්පිනියක් කියලා ගොඩක් ප්‍රසිද්ධයි. ඒ ගතිගුණය ඔබට අවාසි සහගත වූ අවස්ථා නැද්ද?
මම කතාකරන්නේ යථාර්ථයයි. මම ලෝකය දකින්නේ තරුණ නිළියක් විදිහටයි. ඇත්තටම මම තාම නිළියක් නෙමෙයි නැගී ගෙන එන නිළියක්. එවැනි කෙනෙක් ලෙස මම සමාජය දකින විදිය ගැන මම කතා කරනවා. ඒ මගේ දැක්මයි. තවත් කෙනෙක් ඊට වඩා ප්‍රතිවිරුද්ධ මතයක් දැරුවත් මම පිළිගන්නවා. මට එකිනෙකාගේ මතයන් වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා මම දකින දේ මම කතා කරනවා.
ඔබ ෆැෂන් කරන්නෙ කතාබහට ලක්වෙන්න ද?
එහෙම නැහැ. මම සුමති සම්මාන උලෙළේ ඇඳපු සාරිය මින් පෙර දැකල තිබුණෙත් නැහැ. ඒ නිර්මාණයේ ගෞරවය මම චමිල් උදයංගට ලබා දෙනවා. මම ඒ ඇඳුම දැක්කෙත් සුම
ති සම්මාන උලෙළට යන්න ලෑස්ති වූ පසුවයි. එහෙම ඇඳුම් ගැන හිතන් නැති අවස්ථා වගේම ඒ ගැන හිතෙන වෙලාවලුත් තියෙනවා. මම බොලිවුඩ් ඇඳුම් නිර්මාණ ෆලෝ කරන්න කැමතියි. මම නිරූපණ ශිල්පිනියක් නිසා මගේ ඇඟට සරිලන ඇඳුම් ගැන මම දන්නවා.
බොහෝ නවක රංගන ශිල්පීන්ට ක්ෂේත්රය තුළ කැපිලි කෙටිලි තිබෙනවා කියා කියනවා. ඔබටත් එවැනි අර්බුද තිබෙනවාද?
කැපිලි කෙටිලි නවකයන්ට විතරක් නෙමේ ප්‍රවීණයන්ටත් තිබෙනවා. නමුත් ඒවා ගණන් ගන්න හොඳ නැහැ. අප දක්ෂ නම් කාටවත් අපව කපන්න බැහැ. යම් චරිතයකට මාව ඇරෙන්න වෙනත් ආදේශකයක් නැත්නම් මාව කපන්න බැහැ. හැම කැපිල්ලක්ම දක්ෂතාවයට යටපත් වෙනවා. කැපෙන තැන දී කැපෙයි. නමුත් දක්ෂයාට සුදුසු තැන අද නැත්නම් හෙට ලැබෙනවාමයි
ආදරේ ගැන මොකද හිතෙන්නේ?
ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ වගේම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් කියලා මට හිතෙනවා
ළඟදි විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවද?
ළඟදි විවාහ වීමට බලාපොරොත්තුවක් නැහැ. මම මේ වෙලාවේ පළමුතැන ලබාදෙන්නෙ රංගන ජීවිතයටයි. විවාහය ගැන හිතන්නවත් මට වෙලාවක් නැහැ. රංගන ජීවිතය තමයි මේ වෙලාවේ මම විවාහ කරගෙන ඉන්නේ.
මේ දවස්වල දුෂේනි ආදර යෝජනා වැස්සක තෙමෙනවද කියලා මං ඇහුවොත්?
ඔව්.... ගොඩක් විවාහ යෝජනා ලැබෙනවා. නමුත් යම් කෙනෙක්ට මගේ හිත ඇදිලා යන්න ඕනි. හිත ගිය තැන මාළිගාව කියනවනේ. එහෙම හිත ගිය තැනක මාළිගාවක් හදා ගත්තොත් මං ඒක මුළු ලංකාවටම කියනවා.
විශ්මි ප්‍රනාන්දු - රසඳුන
0 Comments