economy-growth

අද ශ්‍රී ලාංකිකයෝ මුළුමනින්ම ඉච්ඡා භංගත්වත්වයට පත්ව සිටිති. 1948දී යළි නිදහස දිනා ගැනීමෙන් අනතුරුව බොහෝ කාලවල දී ක්‍රියාත්මක වූ වාමවාදී දේශපාලන බලවේග මේ රට සුඛිත මුදිත කිරීමට යැයි කියමින් නොයෙක් සටන් පාඨ හා සුරංගනා කතා ඉදිරිපත් කරනු ලැබීය. ආර්ථික ජාතිකවාදය ක්‍රියාත්මක කරනු ලැබීය. නිදහස් තරගකාරී හා ප්‍රායෝගිකවාදී සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ සැම විටම එය කඩාකප්පල් කිරීමට වාමවාදී කඳවුර නිතැතින් ක්‍රියාත්මක විය. මේ විනාශකාරි වාමවාදී වැඩපිළිවෙළ කූටප්‍රාප්තියට පත් වූයේ 1994-2021 අතර කාලයේදීය.

සංවර්ධනය පිළිබඳව අධ්‍යයනය කරන්නන්ට රටක ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ යුත්තේ කේසේද යන්න අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකාව ඉතා වටිනා කතා පුවතකි. අතෝරක් නැති දර්ශනවා ද ඉලක්ක හා සුන්දර කතා මාලා පදනම් කරගෙන වැඩ නැති කයිවාරු දේශපාලනයක් ක්‍රියාත්මක කළ වාමවාදයේ අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ රට මේ වන විට 1505 දී පරංගි පැමිණෙන අවස්ථාවේ තිබුණාටත් වඩා පහළට වැටී තිබීමයි. නිදහස යළි දිනා ගැනීමේ සංවත්සරයේදී ද වත්මන් ජනාධිපතිවරයා අලුත් සුරංගනා කතා මාලාවක් ඉදිරිපත් කරනු ලැබූවත් ඔහුගේ පාලන කාලය තුළ තවමත් කිසිදු වැදගත් සංවර්ධන ප්‍රාරම්භයක් හෝ ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව සිටියි.

රට නිවැරදි කරන මාවත අරඹා නැත. ඔහු නායකත්වය දෙන්නේ ඔහු කියූ කිසිවක් පැහැදිලිව ක්‍රියාත්මක කිරීමට හැකි දේශපාලන කඳවුරකට නොවන බව ජනතාව හොඳින්ම දන්නා දෙයකි.

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට දරුණු බිඳ වැටීමකට ලක්ව තිබෙන බව සැවොම දන්නා කරුණකි. 2022 දී ආර්ථික වර්ධන වේගය සෘණ සියයට 11ක් විය. මේ වසරේ මුල් කාර්තුවේදී ද ආර්ථික වර්ධන වේගය ඍණ සියයට3ක් පමණ විය හැකිය. ජීවන වියදම අහස උසට ගොස් තිබේ. ඒ අතර රජය බදු හරහා වෘත්තිකයන්ගෙන් දැඩි පළිගැනීමේ ක්‍රියාන්විතයක් මෙහෙයවන බව දැකිය හැකිය. කර්මාන්ත බිඳවැටී රැකියා අහිමිවීම හේතුකොට ගෙන විරැකියාව තියුණු ලෙස වැඩිවී තිබේ. මන්දපෝෂණය වැඩි වෙමින් තිබේ. 2019ට සාපේක්ෂව ගත්විට දිළිඳුකම දෙගුණයකටත් වඩා වැඩිවී තිබේ. 1988-1989 කාලයෙන් අනතුරුව අදවන විට බුද්ධි ගලනය දරුණු තත්ත්වයට පත්ව තිබේ. විදේශ ආයෝජන තවමත් රටට එන්නේ නැත. සංචාරක කර්මාන්තය කිසියම් නැගිටීමක් තිබුණත් තවමත් මන්දගාමී වර්ධනයක් පෙන්වයි. වසර 2020 මැදදී ගෙවුම් ශේෂ අර්බුදයෙන් ආරම්භ වූ ආර්ථික බිඳ වැටීමට වසර දෙකකට වඩා කාලයක් ගතවී තිබුණත් තවමත් විසඳුමක් පෙනෙන මානයේවත් නැත.

අයවැය හිගය පාලනය කිරීම සඳහා දැඩි රාජ්‍ය වියදම් පාලනයකට යටත් කළ යුතු කාලයක විනාශකාරී වියදම් තවමත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි. නිදහස් උත්සවය සංකේතාත්මකව සරලව ක්‍රියාත්මක කළ හැකිව තිබිය දී සැලකිය යුතු වියදමක් කර පැවැත්වීමට කටයුතු කිරීමෙන් පෙනෙන්නේ පාලකයන්ගේ අසංවේදීභාවය, ජනදුක පිළිබඳ කිසිදු සහකම්පනයක් නොමැතිකම හා වගකීම් විරහිතභාවයයි. මේ වන විටත් රට ගොඩ නැගීමේ කාර්යය හුදු වචනවලට පමණක් සීමාවී තිබෙන අතර කිසිදු වැදගත් ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණයක් කිරීමට මූලාරම්භයක් වත් තවම ගෙන නැත. රට අයාලේ යමින්  තිබේ. ආර්ථික පරිහානියෙන් ගොඩ එන්නට නම් සැබෑ නිදහස් තරගකාරී සමාජ සාධාරණත්වයෙන් යුත් ආර්ථික ක්‍රමයක් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු වන්නේය. මහජනතාවගේ අරමුණු ජයගත හැකි හොඳ නායකත්ව ගුණාංග ඇති නායකයන් අවශ්‍යය. රාජ්‍ය පාලනය දූෂණයෙන් තොර පාරිශුද්ධ සැමට සමානව සලකන, කාර්යක්ෂම, හා සාධාරණ එකක් බවට පත් කළ යුතු වේ. දේශපාලකයන් බුද්ධිමය හා සදාචාරාත්මක වශයෙන් උසස් බවකින් යුක්ත පිරිසක් විය යුතුය.

දේශපාලකයන්ගේ විනය සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ආර්ථික පුනරුදයේ දී තීරණාත්මක වෙයි. සියලුම පාර්ශවකරුවන් සමඟ අදහස් හුවමාරු කර උපදෙස් ලබාගෙන සම්මුතිවා දී ලෙස රට පාලනය කිරීමට සමත් පාලක පංතියක් අවශ්‍ය වන්නේය. නිසි ප්‍රමුඛතා ඇතිව ජනතාවගේ ගැටලු සහ අභිලාෂ අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුව තිබේ. ප්‍රායෝගික ක්‍රියාකාරී වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුව තිබේ. දෘෂ්ටිවාදය නොව ප්‍රායෝගික සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කළ යුත්තේය.

පැහැදිලි සංවර්ධන වැඩපිළිවෙළක් අවශ්‍යය. වත්මන් ජනාධිපතිවරයා නායකත්වය දෙන ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන බලවේගය සේම ඔහුගේ සහචරයන් ද මේ ගුණාංග ඇති දේශපාලන හෝ වෘත්තීය බලවේගයක් නොවේ. එබැවින් 2048 සඳහා කිසිදු වැදගත් දෙයක් කිරීමට ඔවුන් අසමත් වනු ඇත.

2048 දී වත් රට සංවර්ධිත තත්ත්වයට පත් කර ගැනීමට නම් බොහෝ දේ කළ යුතුය. අපට සංවර්ධන සංග්‍රාමයක් අවශ්‍යය. උද්ධමනය පාලනය කිරීම සඳහා කඩිනමින් නිෂ්පාදනය වැඩි කරන වැඩපිළිවෙළක් අවශ්‍යය. බදු බර අඩු කර ජනපීඩනය අඩු කළ යුතුය. අනවශ්‍ය හා විනාශකාරී රාජ්‍ය වියදම් වහා පාලනය කළයුතු වන්නේය. පාලකයන් ද තම සුඛෝපභෝගී ජීවිත වලින් මිදී සරල ජීවිත ගත කිරීමට යොමු විය යුතුය. කෘෂි කර්මාන්තය කර්මාන්ත හා සේවා අංශ පදනම් කරගෙන නව නිෂ්පාදන ආර්ථිකයක් අපනයන ආර්ථිකයක් බිහි කර වහා රැකියා නිර්මාණය කළ යුතුය. විද්‍යාව හා තාක්ෂණය පදනම් කර ගෙන නවෝත්පාදන ආර්ථිකයක් බිහි කළ යුතු වන්නේය. ගම හා නගරය කේන්ද්‍ර කරගත් කඩිනම් නිෂ්පාදන ආර්ථිකයක් වහා බලගැන්විය යුතු වන්නේය. සාමය සහ අන්තර් වාර්ගික සමගිය තහවුරු කළ යුතු වන්නේය. සංවර්ධන ක්‍රියාවලියට සියලු දෙනාට සමානව සහභාගී විය හැකි වාතාවරණයක් අවශ්‍ය වන්නේය. සංවර්ධනයේ ප්‍රතිලාභ සැමට ලැබෙන ක්‍රමයක් අවශ්‍ය වන්නේය.

වත්මන් ජනාධිපතිවරයා කුමන ආකාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ ද එතුමා නායකත්වය දෙනු ලබන්නේ ඉතාමත් අදූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් රට ආගාදයට ඇද දැමූ දේශපාලන බලවේගයක් සමගිනි. 2019 දී බලය ලබාදුන් 69 ලක්ෂයක් ජනතාව රැවටූ ඒ ජනතාවගේ අභිලාශ පාවාදුන් බලවේගයකි. ආර්ථික ජාතිකවාදය කරපින්නාගෙන විනාශකාරී රාජ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි දේශපාලන බලවේගයක් සමග එකතුවී ආර්ථික හා දේශපාලන ප්‍රතිසංසරකරණ සිදු කළ හැකි යැයි සිතීම මුළාවකි. වර්තමාන ආණ්ඩුව කිසිදු වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් කිරීමට අසමත් වනවා පමණක් නොව නිකන් ජාමෙ බේරා ගමිනිමින් බලයේ රැඳී සිටීම පමණක් සිදු වනු ඇත. ආර්ථික අර්බුදය නිර්මාණය වී වසර දෙකක් ගත වී තිබුණ ද කිසිදු වැදගත් සංවර්ධන ප්‍රාරම්භනයක් තවම සිදු වී නැත. වත්මන් ජනාධිපතිවරයා යටතේ තවමත් රටෙහි ආර්ථික සංවර්ධන මාවත නිවැරදි වී නැත. නිවැරදි කරන බවක් ද පෙනෙන්නට නැත. හුදු කතා හා සංදර්ශන පමණක් දැකිය හැකිය.

අපේ රටේ ජනතාව ඉතාමත් අවාසනාවන්ත ලෙස දිගින් දිගටම රැවටීමට ලක්ව සිටිති. දේශපාලනයේ දී මගේ ජීවිත කාලය තුළ මගේ ඡන්දය ලබාගත් කිසිවෙක් ජනතාව වෙනුවෙන් ජනතාව අපේක්ෂා කළ රට ගොඩනැගීමට බෙහෙවින් අසමත් වූවා පමණක් නොව රට ආගාදයට ඇද දැමීමට දායක වී තම මඩි තර කර ගෙන තම පැලැන්තියේ සුඛවිහරණය ගැන කල්පනා කර කටයුතු කළ බව දක්වන්නේ ඉතාමත් සංවේගයෙනි. අදක්ෂයන් පෙරටු කරගෙන දක්ෂයන් කපා දමමින් උද්දච්චකමින් හා බල තණ්හාවෙන් රටවල් ගොඩ නැගිය නොහැකිය. සුදුස්සාට සුදුසු තැන නොදී රටවල් ගොඩනැගිය නොහැකිය. දේශපාලන කුහකයන්ට රටවල් ගොඩනැගිය නොහැකිය. මර්දනය පෙරදැරි කර ගන්නන්ට රටවල් ගොඩනැගිය නොහැකිය. හැකියාවට තැන ලැබෙන නිසි දේශපාලන හා ආණ්ඩු කිරීමක් නොකර හුදු පුරසාරම් හා අතෝරක් නැති කයිවාරු හා සුරංගනා කතා වලින් රට සංවර්ධනය කළ නොහැකිය. පැහැදිලි ප්‍රායෝගික වැඩපිළිවෙළක් සමග සුපිරිසුදු ජනහිතකාමී දේශපාලන බලවේග ජාත්‍යන්තරවාදීව ක්‍රියා කරන පිරිසක් විය යුතුය. නිදහස්, තරගකාරී හා සමාජ සාධාරණත්වයෙන් යුත් ආර්ථික ක්‍රමයක දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක්  ක්‍රියාත්මක කරමින් සංවර්ධන සංග්‍රාමයක්  මෙහෙය වන පිරිසක් විය යුත්තේය.

සංවර්ධනය  ක්‍රියාදාමය  ප්‍රායෝගිකවාදය මත සිදු විය  යුතු විනා දෘෂ්ටිවාද පදනම් කර ගෙන කළ නොහැකිය. රටේ ජනතාවගේ අභිලාශ සලකන විට ජනතාවගේ ආර්ථිකය හා නිදහස පෙරමුණේ සිටියි. අතීතයේ අනුරාධපුර, පොළොන්නරු වැනි යුගවල රාජ්‍ය දෙස බලන්න. පරංගීන් රටට පැමිණීමට පෙර යුගයේ දී අපගේ පාලකයන්ගේ එකම අභිලාශය වූයේ ජනතාවට නිසි ආරක්ෂාව සලසමින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

එසේම සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, දකුණු කොරියාවේ පාක් චුන්ග් හී, චීනයේ ඩෙන් ෂියාඕ පං, රුවන්ඩාවේ පෝල් කගාමේ, කෙන්යාවේ කෙන්යාටා, උගන්ඩාවේ මුසවේනි වැනි නායකයන් දෙස බලන්න. රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔවුහු මුළු ජීවිත කාලයම කැප කළහ. රට සංවර්ධනය කිරීම සඳහා හදවතින්ම නායකත්වය දෙමින් ක්‍රියා කරන මෙවැනි පරමාදර්ශී නායකයන් අවශ්‍ය වන්නේය. මේ අයගේ ප්‍රධාන පරමාර්ථ හා ක්‍රියාකාරීත්වය පැවතියේ නීතිය හා සාමය පවත්වා ගෙනයමින් නීතියේ පාලනය යටතේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට ය. පුහු ආටෝප සාටෝප මත තම යහපත ගැන හිතන පාලකයන්ගෙන් රටට වැඩක් නැත. එබැවින් වයෝවෘද්ධ කිසිදු දේශපාලකයකු 2048 වන විට සංවර්ධනය කරනවා යැයි පාරම්බැවාට වැඩක් නැත. මන්ද ඔවුන් සියලු දෙනාම රටේ ජනතාව මේ වන විටත් අසමත් කර ආගාදයට ඇද දමා ඇති බැවිනි.

රට සංවර්ධනය කිරීමට නම් ඩී.එස්. සේනානායක, ඩඩ්ලි. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ගණයේ රාජ්‍ය නායකයන් රටට අවශ්‍ය වන්නේය. එසේම විජේවීර වැන්නන්ගේ අඩිපාරේ යමින් මේ රට ගොඩ නැගිය නොහැකිය. කියුබාව හෝ උතුරු කොරියාව හෝ මාඕ සේතුංගේ චීනය අනුගමනය කර 2048 දී රට සංවර්ධිත රටක් බවට පත් කළ නොහැකිය. එසේම ජේ.ආර්. හා ප්‍රේමදාස වැනි අය සමග කටයුතු කළ ආකාරයේ දක්ෂ නිර්මාණශීලී දේශපාලන කණ්ඩායමක් ද ප්‍රායෝගිකවා දී බුද්ධිමතුන් ද ජනහිතකාමී නිලධාරී කණ්ඩායමක් ද අවශ්‍යය. ජේ.ආර්. හා ප්‍රේමදාස ක්‍රියාත්මක කළ ආකාරයේ පැහැදිලි ප්‍රායෝගික සංවර්ධන වැඩපිළිවෙළක් රටට අවශ්‍යය. ඒ සඳහා නායකත්වය දිය හැකි දේශපාලන බලවේගයක් අවශ්‍ය වන්නේය. ජනතාවාදී සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කළ හැකි පැහැදිලි දේශපාලන බලවේගය බව පෙනී යන්නේ සමගි ජන බලවේගය යි.

2048 වන විට වත් රට ආර්ථික සමෘද්ධිය කරා රැගෙන යාමට තරම් දේශපාලන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවේ යැයි සිතීමට තරම් කිසිදු පදනමක් නොමැත. එසේම වාමවාදී දේශපාලන ව්‍යාපාරයක කේන්ද්‍රීය දෘෂ්ටිවාදය වන්නේ මැදි වාම අදහස් සමග ආර්ථික ජාතිකවාදය වන බැවින් ද නිදහස් තරගකාරි ආර්ථික ක්‍රමයකට විරුද්ධ මාවතේ වන බැවින් ද වර්තමානයේ ක්‍රියාත්මක වන ඇතැම් වාමවාදී දේශපාලන බලවේග මේ රටට අලුත් බලාපොරොත්තු ඇති කරන්නේ නැත. රටෙහි ජනතාව ඉල්ලන්නේ සමස්ත ක්‍රමයේ වෙනසකි.

එවැනි වෙනසක් ඇති කළ හැකි වන්නේ රට විනාශ කිරීමට දායක වූ දේශපාලන බලවේගවලට නොව පළාත් පාලන මැතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයක් හා ජනාධිපතිවරණයකින් මුළුමනින්ම නව සුපිරිසුදු සංවර්ධනවාදී නව ආණ්ඩුවක් ජාතික මට්ටමිනුත් ප්‍රාදේශීය මට්ටමිනුත් ක්‍රියාත්මක කිරීමෙනි. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන දේශපාලන බලවේග අතුරින් 2048 දී වත් රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් ආර්ථික වැඩපිළිවෙළක් ප්‍රායෝගිකවාදී පදනමක් මත ක්‍රියාත්මක කළ යුතුය. නිදහස් තරගකාරී සමාජ සාධාරණත්වයෙන් යුත් ආර්ථිකයක් තුළ සුපිලිපන් කාර්යක්ෂම ජනතාවාදී පාලනයක් ක්‍රියාත්මක කිරීමකින් තොරව 2048 දී රට සංවර්ධිත තත්ත්වයට පත් කරනවා යැයි හඬ නැගීමේ ඵලක් නැත.

පේරාදෙනිය සරසවියේ ආර්ථික විද්‍යා අංශ මහාචාර්ය
ඕ.ජී. දයාරත්න බණ්ඩා