election-court

පළාත් පාලන මැතිවරණයට මුදල් ප්‍රතිපාදන සැපයීම පාර්ලිමේන්තු කටයුත්තක් වන හෙයින් ඊට මැදිහත්වීමට අධිකරණයට පවතින හැකියාව ඉතාම අවම යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ඊයේ (23දා) පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයි ඉල්ලමින් විශ්‍රාමික කර්නල්වරයෙකු ගොනු කොට ඇති පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී එලෙස දැනුම් දුන් අතර, මැතිවරණයට මුදල් ප්‍රතිපාදන නොදීම සහ තැපැල් ඡන්ද පත්‍රිකා නිසි ආකාරයට මුද්‍රණය නොකිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය අධිකරණයට කැඳවන්නැයි කළ ඉල්ලීමද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප  කළේය.



පළාත් පාලන මැතිවරණයට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම සම්බන්ධයෙන් ලබන මැයි මස 11වැනිදා කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිසමට නියම කළේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයි සහ මුදල් නොමැති තත්ත්වයක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයි ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් පෙත්සම් ගොනු කොට ඇති අතර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයි ඉල්ලමින් විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ගොනුකර ඇති ඊට් පෙත්සම මෝෂමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයි ඉල්ලමින් විශ්‍රාමික කර්නල්වරයා පවරා ඇති පෙත්සම යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් නියමිත දිනයට පළාත් පාලන මැතිවරණය පවත්වන බව මීට පෙර අවස්ථාවකදී මැතිවරණ කොමිසම අධිකරණයට ප්‍රතිඥාවක් දුන්නත් මේ වනවිට උද්ගත ඇති මුදල් ප්‍රතිපාදන හිඟකම සහ අනෙකුත් පහසුකම්වල හිඟකම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම දුෂ්කර කාර්යයක් වී ඇතැයි පැවසීය.



මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ බෙදීමක් ඇතැයි ආරංචි පැතිර යන නමුත් එහි කිසිදු ආකාරයක බෙදීමක් සිදු වී නැතැයි කී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නිසි අයුරින් මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ මුදල් ප්‍රතිපාදන නොමැති වීම සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය තැපැල් ඡන්ද පත්‍රිකා නිසි ආකාරයට මුද්‍රණය නොකිරීම නිසා යැයිද කීය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නොතීසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. එම කරුණ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒ සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් ගොනුකොට ඇති පෙත්සම් යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීර්ස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සමේ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් වන දේශපාලන පක්‍ෂ නම් කොට නැතැයි පෙන්වා දුන්නේය. එම කරුණ මෙන්ම මෙම පෙත්සම ගොනු කොට ඇත්තේ ඡන්දදායකයෙකු නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය”

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙර්න් පුල්ලේ මහතා කරුණු ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඉන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවත් දැනුම් දුන්නේය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයට අනුව රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බවත්, ඒ හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාම වියදම් සීමා කිරීමට තීරණය කර ඇති අතර, එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ වියදම් දැරීම අපහසු තත්ත්වයකට පත්ව ඇතැයිද කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කෙසේ නමුත් මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීමට භාණ්ඩාගාරය සෑම උත්සාහයක්ම දරන්නේ යැයිද කීය.

මැතිවරණ වියදම් වශයෙන් පසුගිය ජනවාරි මස 31වැනිදා රුපියල් මිලියන 30ක්ද, පෙබරවාරි මස 07වැනිදා රුපියල් මිලියන 70ක්ද, ඉන් අනතුරුව රුපියල් මිලියන 45ක්ද ප්‍රතිපාදන වෙන්කර ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉතිරි මුදල් ලබාදීමට මුදල් අමාත්‍යවරයා අනුමැතිය ලබාදිය යුතු බවත්, රටට මුදල් ලැබීම් වැඩිදියුණු වුවහොත් මැතිවරණ සඳහා මුදල් ලබාදීමට හැකියාව ඇති බවත් කීය. මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් ලබාගත හැකිදැයි විමසීය. ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙන් පුල්ලේ මහතා මුදල් සොයාගැනීම සඳහා මහා භාණ්ඩාගාරය හැකි සෑම උත්සාහයක්ම දරන්නේ යැයි පැවසීය. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් සර්ව ජන ඡන්දය ජනතාවගේ අයිතියක් යැයිද, නිසි කලට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් යැයිද පැවසීය.



කෙසේ වුවද මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරිමට මුදල් ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත්, ඒ අනුව පෙනෙන්නට ඇත්තේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට සිද්ධ වී ඇත්තේ ජනාධිපතිවරයාගේ අභිමතයට යටත්ව යැයිද කී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඡන්ද කල් දැමීමට මුදල් ඇමතිවරයාට ඉඩ දිය නොහැකි යැයිද කීය. ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ සර්වජන ඡන්දය අයිතිය ආරක්‍ෂා කළ යුතු යැයිද, මේ තත්ත්වය අනාගතයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයටද ඍජුවම බලපාන බවද පෙන්වා දුන් සාලිය පීර්ස් මහතා මේ තත්වය යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ඒ මැතිවරණ වුවද කල් දැමීමට හැකියාව ඇතැයි කීය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්, තුරෙයිරාජා මහතා “භාණ්ඩාගාරයේ මුදල් නැහැ කියන එක පාර්ලිමේන්තුවට අදාළ කරුණක්. මේ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් විය. හැකිකේ අවම වශයෙනුයි. මැතිවරණයට කොපමණ මුදලක් යනවද?” යනුවෙන් විමසීය.  ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් "රුපියල් මිලියන 8000ක් විතර වැය වෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දීමට මැතිවරණ කොමිසම අපේක්‍ෂා කරන හෙයින් ඒ සඳහා කල් ලබාදෙන්නැ”යි ඉල්ලා සිටියේය.

ඊට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම යළි කැදවනු ලබන මැයි 11වැනිදා ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට මැතිවරණ කොමිසමට නියම කළේය. පැෆ්රල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත් සිං මහතා කරුණු ඉදිරිපත් කරමින් මැතිවරණයට අවශ්‍ය මුදල් ජනතාවගෙන් එකතු කර ලබාදීමට හැකියාව ඇතැයි කීය. අධිකරණය ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා රටේ ජනතාවට එදිනෙදා මූලික කටයුතු හෝ සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, එවැනි තත්ත්වයක් තුළ ජනතාවගෙන් මුදල් ඉල්ලීමට හැකියාවක් නැති වුවද කැමති කෙනෙකු ඇත්නම් මහා භාණ්ඩාගාරයට මුදල් පරිත්‍යාග කිරීමට හැකි බවත් කියා සිටියේය. කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ලබන 11වැනිදා යළි කැඳවීමට නියම කළේය.

බුද්ධිමාල් රුබේරු