exam-department-ol-pass

විභාග අල්ලසක් සම්බන්ධ මේ සත්‍ය සිදුවීම ටිකක් පරණ කතාවකි.
දශක තුන හතරකට පමණ පෙර කොළඹ විභාග දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවය කළ පුද්ගලයකුට නිතර අගහිගකම් දැනෙන්නට ගත්තේය. දිනක් ඔහුගේ කාර්යාලයේ කාර්ය සහායකයකුගේ මාර්ගයෙන් ධනවත් මුදලාලි කෙනෙකු හඳුනාගත් අතර ඔහු හමුවන්නට පැමිණියේ තමා ආවේ පොඩි ගනුදෙනුවකට යයි මුදලාලි කාර්යාල කාර්ය සහායකයා අත කියා එවා තිබුණි. ලිපිකරුවා එම පුටුවෙන් නැගිට මුදලාලි හමුවට ගියේය. මුදලාලිට ලිපිකරු මහතාගෙන් අවශ්‍ය වූයේ තමාගේ පුත්‍රයාට ඇස්..ඇස්.සී. විභාගයෙන් (මෙකල අ.පො.ස. සා.පෙ. විභාගයට වෙනුවට එකල තිබුණේ එම විභාගයයි) පළමු වතාවේම සමත් කරවන්නටය.

''මහත්තයට ලකුණු ටිකක් එහා මෙහා කරල දෙන්න පුළුවන්නං, මහත්තයගෙ අමාරුකං ගැන මම බලා ගන්නං '' මුදලාලි කීවේය.

එය කළ නොහැකි උදව්වක් බව දැන දැනම ලිපිකරුවා ඊට අකමැත්තෙන් එකඟ වූයේය. ඔහු ලොකු ගණනක් කීවේය. එසැණින්ම තම පොකැට්ටුව ඉවතට ඇදගත් මුදලාලි ඔහු කී ගණනින් භාගයකුත් ඔහුට ගෙව්වේය.

ඉතුරු භාගය '' වැඩේ කළාට පස්සෙ '' ගෙවන්නට ඔහු පොරොන්දු වූයේය. ඒ කාලයේ අද මෙන් නොව ප්‍රතිඵල එන්නට මාස ගණනක් ගතවේ. ටික දිනක් ගත වෙද්දී ලිපිකරුවාට මුළු සිද්ධියම අමතක වී ගියේය. එක් ඉරිදා දිනක උදෑසන මුදලාලිගේ සද්දන්ත කාර් රථය ලිපිකරුවාගේ බෝඩිමේ ගේට්ටුවෙන් ඇතුළට හැරෙව්වේය. මුදලාලිව දැක ගෙතුලට මාරු වී යන්නට උත්සාහ දැරූ සැනින් ලිපිකරුවාව මුදලාලි දුටුවේය. රථයෙන් බැසගත් මුදලාලි  කට දෙකොන කන් දෙක ළඟට ඇදෙන තරමට ප්‍රබල සිනාවක් පා ලිපිකරුවා සමග සිනාසුනේය.  ලිපිකරුවා තුෂ්ණිම්භූතව බලා සිටියේය.

" හරි මහත්තයා, වැඩේ හරියට හරි! හැමදේම හරියට හරි ගියා මහත්තය. බොහොම ඉස්තූතියි මහත්තයට, බොහොම ස්තූතියි. මට කවදාවත් කරපු උදව්වක් අමතක වෙන්නෙ නෑ. '' ඕක මොකද්ද මුදලාලි'' තරමක් ඉස්පාසුවක් ලබමින් ලිපිකරුවා කීවේය.

" නෑ. නෑ. එහෙම කියන්න එපා මහත්තය'' කී මුදලාලි පොකැට්ටුව ඉවත ඇද ඉතිරි ගාන ලිපිකරුවාට ගෙවා දැමුවේය.

"මං පොඩි තෑග්ගකුත් ගෙනාවා මහත්තය හිතේ සංතෝසෙට " නැවත කාර් රථයට ගිය මුදලාලි විස්කි බෝතල් දෙකකුත් ඉන් ඉවතට ගෙන ආවේය.

ඇතුළෙන් කිසිවක් නොකරම පුතා පාස්වී තිබුණ අතර මුදලාලි සිතුවේ ලිපිකරුගේ වැඩක් කියාය.