galle-incident

දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින 8ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැයි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. එම දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දුෂණයකට ලක්ව ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.



සැමියාට ඇතැයි කියන අපලයක් දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර දොළොස් හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව පවසා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.සිය දියණියට දේව වරමක් ලබා ගැනීමට ඇයගේ මවුපියන් කපුවාට කැමැත්ත ලබා දී ඇතැයි කියති.


පුද පූජා පවත්වා දින අටකට පසුව ඇයට දේව වරම ලැබෙන බව කපුවා පැවසීමෙන් පසුව කපුවා එම දැරිය සමග නිවසේ කාමරයක එම කාලය ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. දින 8ක කාලයක් පිරුණු දින රාත්‍රියේ දැරිය පමණක් තබා සියලු දෙනාටම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිටව යන ලෙස කපුවා පරලවී දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා කීය.

දේව වරමින් ලබාදුන් නියෝගයක් නිසා එම නියෝගයට අවනත වෙමින් දැරිය කපුවාට බාර දී මවුපියන් ඇතුළු නිවසේ අය පිටතට ගොස් ඇතැයි එම නිලධාරියා පැවැසීය.ප්‍රදේශයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවේ කපුවා දැරිය දූෂණය කර ඒ ගැන කිසිවකුට හෝ නොකියන ලෙස දැනුම් දී ඇති බවත් කාට හෝ පැවසුව හොත් පවුල පිටින්ම මරා දමන බවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය. දැරිය මේ බව ඇගේ නැන්දනියට දැනුම් දීමෙන් පසුව ඇය ඒ  සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

  පෙරේදා (05) මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මිත්‍යා විශ්වාස පසුපස ගොස් අහිංසක දැරියකගේ ජීවිතය අඳුරු කර ඇති බවත් මෙවැනි වංචාකාරයන්ට පසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය. දැරියක මේ ආකාරයට කාමරයක පිරිමියකු සමග තනිකර යෑමෙන් එම දැරියගේ මවුපියන් කර ඇත්තේ ද බරපතළ වරදක් බව ද අජිත් රෝහණ මහතා කීවේය. මවුපියන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.  මෙම දැරිය වැඩිවියටවත් පත් වී නැති බව ඇයගේ මව පොලිසියට පවසා ඇතැයි කියති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය