gampaha-post-mortem-issue

කාන්තාවකගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට එවා නැතැයි කියන ගම්පහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඒ සඳහා වරෙන්තුවක් ද ඊයේ (16) නිකුත් කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට එරෙහි වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මීරිගම පොලීසියට නියම කළේය. වසර හතරකට පෙර මීරිගම තිලිනගම දී ඝාතනය කළැයි කියන කේ. පී. ගංගා මධුභාෂිනි නමැති කාන්තාවකගේ මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ දක්වා අධිකරණයට එවා නොමැති බව හෙළිවීම හේතුවෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.



අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මෙලෙස වරෙන්තු නිකුත් කරන ලද්දේ මීට වසර හතරකට පෙර ගම්පහ මූලික රෝහලේ සේවය කළ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.සී.ඇස්. පෙරේරා මහතාටය. මීරිගම පොලිස් වසමට අයත් තිළිණගම පදිංචිව සිටි කේ පී ගංගා මධුභාෂිණි නමැති කාන්තාවක 2018 වසරේ සැප්තැම්බර් 18 වැනිදා ඇයගේ නිවස තුළදීම ඝාතනය කර තිබු අතර ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.සී.ඇස්. පෙරේරා මහතා විසින් මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය. අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථා කිහිපයකදීම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දෙමින් සිතාසි නිකුත් කර තිබුණත් එම නියෝගවලට අවනත වෙමින් ඔහු අධිකරණයේ පෙනී නොසිටි හෙයින් මීට පෙර අවස්ථාවක දී ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබිණ.

මෙම නඩුව ඊයේ (16) යළි කැඳවූ අවස්ථාවේදීද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. 

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මීරිගම පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී.ඇස්.පී. සුබසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිශ්චිතව සේවය කරන ස්ථානය සොයා ගැනීමට අපහසු වීම හේතුවෙන් ඔහුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව දැනුම් දුන්නේය.  අදාළ වෛද්‍යවරයා පොලොන්නරුව ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් පරීක්ෂක ඊ.ජී.ඇස්.පී. සුබසිංහ මහතා කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා යළිත් වරක් වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා වහාම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට මිරිගම පොලීසියට නියම කළේය. නඩුව අප්‍රේල් 06 වැනිදා යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් මීරිගම පොලීසියේ සැරයන් නිශාන්ත රූපසිංහ සමඟ එහි නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී.ඇස්.පී. සුබසිංහ මහතා පෙනී සිටියේය.
ආනන්ද ඉ. ජයකොඩි