gotabaya-bandula

බදු අඩුකිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබුණු වැරදි උපදෙස් හේතුවෙන් රාජ්‍ය ආදායම පහත වැටුණු බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය ඛන්දුල ගුණවර්ධන මහතා 7 වනදා පැවසීය.  පසුගිය වසරේ දී රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3ක් පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  රාජ්‍ය සේවකයන් මත පනවා තිබූ ඉපයුම් බද්ද ඇතුළු බදු කිහිපයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සමයේ අඩු කළ බවත්, කවුරුත්  නොඉල්ලූ බදු අඩු කර රට ව්‍යසනයකට ගෙන ගිය බවට එ දවස විපක්‍ෂය පවා චෝදනා කළ බවත් ඇමතිවරයා පැවසීය.



ක්‍රමානුකූලව රාජ්‍ය ආදායම් වැඩි කරගත යුතු වුවත් එසේ නොකිරීම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය ඇති වී තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.  බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. රාජ්‍ය ආදායම පහත වැටුණු පසු අපි අන්තර්ජාතික ගනුදෙනු පියවීමට හා ආර්ථිකය පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට ආ යුතු බව කී ඇමතිවරයා එසේ නොකර රට පවත්වාගෙන යා හැකි විකල්පයක් නැතැයි ද කීවේය.

මේ වන විට ශ්‍රී ලංකාව ණය නොගෙවීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නඩුවක් පවරා ඇති බවත්, බංග්ලාදේශය සැප්තැම්බරයේ දී ණය ගෙවිය යුතු බව දැනුම් දී ඇති බවත් කී ඇමතිවරයා මෙවැනි නඩු බේරුම්කරණය සඳහා රජයේ නියෝජිතයෙක් ලෙස ක්ලිපර්ඩ් හාන්ස් නම් ජාත්‍යන්තර සමාගමත්, ප්‍රංශයේ ලසාර්ඩ් සමාගමත් යොදවා ඇතැයි ද පැවසීය.

මෙම වර්ෂය අවසානයේ දී පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට හා ණය ප්‍රතිව්‍යුහගත කරණය කර ගැනීමට හැකි වුවහොත් ජනතාවට සහනදීමට හැකි වන බව ද ඇමතිවරයා කීවේය. නව බදු ආදිය නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බව රජය දන්නා නමුත් මේ අවස්ථාවේ එසේ කිරීම හැර විකල්පයක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.


ඩයනා උදයංගනී