gotabaya-duminda

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා  ජනාධිපති සමාව මත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ලබාදුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සහ දියණිය පවරා ඇති නඩුවේ වගඋත්තරකාරභාවයෙන් තමා ඉවත් කරන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් පෙත්සමක් මගින්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කොට  ඇත.



දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් එලෙස ඉල්ලා සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වශයෙන් තමන්ට ලැබී තිබූ බලතල අනුව නීත්‍යනුකූල ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදුන් බවද දැනුම් දී ඇත. මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා ප්‍රදානය කළ සමාව අත්හිටුවන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව  සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට  ඇත.

මීට පෙර අවස්ථාවකදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කරන ලදී.  එසේ තිබියදී හිටපු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මරණ දඬුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා වශයෙන් තමා සමාව ලබාදුන්නේ ව්‍යවස්ථානුකූල පටිපාටියට අනුව යැයි දැනුම් දී ඇත.



දුමින්ද සිල්වා මහතාගේ වෛද්‍ය වාර්තා සහ අනිකුත් ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව රටේ සුභසිද්ධිය සහ මහජන යහපත සඳහා සද්භාවයෙන් යුතුව ඔහුට සමාව ලබාදුන් බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා දුමින්ද සිල්වා මහතාට සමාව දුන්නේ දේශපාලන හෝ පෞද්ගලික සම්බන්ධකම් අනුව බවට ඇතැම් පුද්ගලයන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කොට ඇත.   දුමින්ද සිල්වා මහතාට සමාව  දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා වශයෙන් තමන්ට ලබා දී ඇති බලතල යටතේ අධිකරණ අමාත්‍යවරයාගේ විමර්ශන වාර්තා අනුව  නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන නීතියට අනුකූල ක්‍රියාපටිපාටිය අනුව බව සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා, වෛද්‍ය වාර්තා අනුව දුමින්ද සිල්වා මහතා බන්ධනාගාරයෙන් පිටත සිටිය යුතු බව නිර්දේශ කර ඇතැයිද සඳහන් කොට ඇත.  මෙම තත්ත්වය යටතේ දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමේ ක්‍රියා පටිපාටියේදී තමන් නීතියට අනුව කටයුතු කර ඇති බැවින් තමන්ට එරෙහිව පවරා ඇති නඩුකරයෙන් තමා ඉවත් කරන්නැයි දිවුරුම් පෙත්සම මගින් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියි.


බුද්ධිමාල් රුබේරු