gov-printing-election

ඡන්ද පත්‍රිකා ඇතුළුව ඡන්ද විසීමට අදාළ මුද්‍රණ කටයුතු නවතා දැමීමට කටයුතු කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ලබාදෙන ආකාරය පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් පොරොන්දුවක් ලබා නොදීම නිසා හා රජයේ මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්‍ෂාව නොලැබීම නිසා ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු නවතා දැමූ බව රජයේ මුද්‍රණාලය පෙන්වා දෙයි. ඡන්ද පත්‍රිකා ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව  මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපති විසින් පොලිස්  නිලධාරින් 60ක් යොදවන ලෙස පසුගිය සතියේදී රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එහෙත් මෙතෙක් අදාළ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර නොමැත.



මීට අමතරව ඡන්ද පත්‍රිකා ඇතුළු ඡන්ද විමසීට අදාළ මුද්‍රණ කටයුතු සඳහා අමුද්‍රව්‍ය ලබාගත් සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන රුපියල් මිලියන දෙසියයක මුදල ලබාදෙන ලෙස හා සේවක සුභසාධනය සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් අදාළ මුදල මෙතෙක් ලබාදී නොමැති අතර, ඉදිරියේදී අදාළ මුදල් ලබාදීමක් පිළිබඳවද මෙතෙක් මුද්‍රණාලය රජයේ පාර්ශ්වයෙන් පොරොන්දුවක් ලබාදී නොමැති බවද රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. රජයේ මුද්‍රණාලය විසින් සැපයුම්කරුවන්ගෙන් ණයට ලබාගත් අමුද්‍රව්‍ය උපයෝගී කර ගෙන ඊයේ (20දා) දිනය වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා හා ඡන්ද විමසීමට අදාළ වන වෙනත් මුද්‍රණ කටයුතු සිදුකර තිබෙන බවද රජයේ මුද්‍රණාලය පෙන්වා දෙයි.

පළාත් පාලන ආයතන ඡන්ද  විමසීමට අදාළ මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලයට ලබාදී තිබෙන ඇණවුම්වලින් 80%කට අධික ප්‍රමාණයක් මේ වනවිට මුද්‍රණය කර තිබෙන බවත්,

පොලිස් නිලධාන්ගේ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කළ පසු අදාළ තොග මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට සැලසුම් කර තිබේ. එතෙක් තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද ව්මසීමට අදාළව සිදුකර තිබෙන මුද්‍රණ කටයුතු ආරක්‍ෂිත ලෙස ගබඩා කර තිබෙන බවත්, පොලිස් ආරක්‍ෂාව ලැබීමෙන් පසු අදාළ තොග නැවත පක්‍ෂා කිර්මටත් රජයේ මුද්‍රණාලය සැලසුම් කර ඇත. දැනට රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට අමතරව ඡන්ද විමසීමට අදාළ කටයුතු සඳහා දහවල් කාලයේදී පොලිස් නිලධාරීන් 35කගේ හා රාත්‍රී කාලයේදී පොලිස් නිලධාරින් 25කගේ ආරක්‍ෂාවක් ලබාගැනීමට රජයේ මුද්‍රණාලය සැලසුම් කර තිබේ.

ඉන්දික හේවාවිතාරණ