grandpass-incident

වෙනත් මාපිය  යුවළකගෙන් ලබාගත් බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු සිඟමනේ යොදවා මුදල් ඉපයීමේ ජාවාරමක නිරතව සිටි බව කියන යාචක  යුවළක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ  කණ්ඩායමක් නිලධාරීන් විසින් සැකපිට පෙරේදා (16) අත්අඩංගුවට ගනු ලැබූහ.



සිඟමන්  යෙදවීමට  ළමයින් දෙදෙනා ඇඹුසැමි යුවළට බාර දුන් බව කියන දරු දෙදෙනාගේ පියා ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි. 

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් අනුව මෙම තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම දරු දෙදෙනාගේ වාහනවලට ගල් ගැසී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් යාචක යුවළ ද දරු දෙදෙනාගේ මවුපියන් ද එම දරු දෙදෙනා සිගමනේ යෙදී උපයා ගන්නා මුදල්වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි පොලිසිය කියයි.



අත්අඩංගුවට ගත් දරු  දෙදෙනාගේ පියා පොල් කඩා ජීවිකාව ගෙන යන අයකු බවද පොලිසිය පවසයි.  කොරෝනා වසංගතය පැවති සමයේ මෙම සැකකරු පොල් කැඩීමට ගොස් පොල් ගසකින් ඇද වැටී ඔහුගේ එක් පාදයක් ආබාධයට ලක්ව ඇත.  එම සැකකරු ද පසුව යාචක වෘත්තියේ නිරතව සිට ඇතැයි පොලිසිය කියයි. අවුරුදු දහයක් සහ අවුරුදු අටක් වයස මෙම ළමයින් දෙදෙනා ළමා නිවාසයක රඳවා ඇතැයි පොලිසිය කියයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නියෝජ්‍ය පොලිස්පති රේණුකා  . ජයසුන්දර මහත්මියට දුන් තොරතුරක් මත පරීක්ෂණ පවත්වා මෙම තිදෙනා සැකපිට  අත්අඩංගුවට ගෙන ඇත.