වසර පහළොවක් අනියම් බිරියක් සමග වාසය කළ පුද්ගලයකු මියයාමෙන් පසුව විවාහක බිරිය හා අනියම් බිරිය අතර හටගත් ආරවුලක් හේතුවෙන් දේහය බාර ගැනීමට කිසිවකුත් නොපැමිණීම නිසා දින එකසිය තිහක් තිස්සේ දේහය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි හෝමාගම මූලික රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නවගමුව පොලිස් වසමේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහුට නීත්‍යනුකූල විවාහයේ දරුවන් තිදෙනකු ද සිටින බව පැවසේ. පසුව මොහු වෙනත් කාන්තාවකගේ ඇසුරට පත්ව ඇය සමඟ වසර පහළොවක් වෙනම වාසය කරන අතරතුරදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 2022 ඔක්තෝබර් මාසයේදී ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
එම අවස්ථාවේදී අනියම් බිරිය නිරන්තරෙන් රෝහලට පැමිණ රෝගී පුද්ගලයාගේ දුක සැප සොයා බලා තිබූ අතර දින කීපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියයාමෙන් පසුව මේ බව දැනගත් නීත්‍යනුකූල බිරිඳ සැමියාගේ සිරුර බාර නොගන්නා ලෙස අනියම් බිරියට කළ තර්ජනයක් හේතුවෙන් ඇය රෝහලට පැමිණීම නතර කර ඇත. නීත්‍යනුකූල බිරිය හෝ ඇයගේ දරුවන් හෝ දේහය බාර ගැනීමට මෙතෙක් රෝහලට පැමිණ නොමැති බව වාර්තා වේ. අනියම් බිරියට දේහය බාරදීමට නීත්‍යනුකූල අවසරයක් නොමැති නිසාත් නීත්‍යනුකූල බිරිය හෝ ඇයගේ දරුවන් කිසිවකුත් රෝහලට නොපැමිණීම නිසාත් මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නොහැකිව දේහය දින 130 තිස්සේ රෝහල් මෘත ශරීරාගාරයේ මෙසේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
එහෙත් රෝහල් පොලිසිය මැදිහත් වී නීත්‍යනුකූල බිරිය හෝ ළඟම ඥාතියකු හෝ සම්බන්ධ කරගෙන සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට සිරුර නිදහස් කිරීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දැරුව ද එය ව්‍යාර්ථ වී ඇති බව පැවසේ.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments